ආයෝජනවලින් කෝටිපතියන්


ජන්ම පත්‍රයක ධන තත්ත්වය පෙන්වන්නේ 2 වැනි භාවයෙන්. 11 වැනි භාවයෙන් ලැබීමේ තරම පෙන්වනවා. මෙම 2 හා 11 වැනි භාවවල ශක්තිය හා එහි අධිපතියන්ගේ සාපේක්ෂ පිහිටීම අනුව කෙනෙකුගේ ධන තත්ත්වය කිව හැකියි.

ක්‍රිෂ්ණමූර්ති පද්ධති ක්‍රමයේ දී මේ සඳහා උපයෝගී කර ගන්නේ 2 භාවයේ උප අධිපතියායි. මෙම උප අධිපතියා 2, 6, 10 හා 11 භාවවල ප්‍රබල නිවේදකයන් වූ විට ජන්ම හිමියා ධනවතකු වෙනවා. එම උප අධිපතියා 5, 8, 12 යන භාවවල නිවේදකයන් වූ විට ඔහු දුප්පතෙකි. 5 සහ 8 ද කිසිම සම්බන්ධයක් නොමැතිව 2, 6, 10 හා 11 පමණක් නිවේදනය කරන විට ඒ අය හැමවිටම ඒකාකාරීව මුදල් සොයන්නෙක්. මෙය 5, 8 හා 12 එකතු වූ විට හදිසි ධනයකට හිමිකම් ලබනවා. අදාළ වාසිදායක දසාවල ධන තත්ත්වය ඉහළින් පවතින අතර 5, 8, 12 නිවේදන දසා කාලවලදී අසීරැ තත්ත්වයකට පත්වීමට ද ඉඩ තිබෙනවා. 2 උප අධිපතියා 2, 6, 10 හා 11ට කිසිදු සම්බන්ධයක් නොමැතිව 5, 8, 12 පමණක් නිවේදනය කරන විට හැමදාම දුප්පතෙක්.

ගුරු වැනි ග්‍රහයන් 2 හි උප අධිපතිව සිට 2, 6, 10 සහ 11 නිවේදනය කරන්නේ නම් ආයාසයකින් තොරව මුදල් රැස්කරන ධනවතෙක් වෙනවා. අනුන්ගේ ධනයකට හෝ හිමිකම් ලබනවා. 2කේ උප අධිපති වෙලා ඉහත භාවයන් නිවේදනය කරන විට එම ජන්මියා ධනය රැස්කර විශාල ධනවතෙක් වෙයි. එහිදී දැඩි ආයාසය ද වීර්යය ද එකතු වෙයි. 11 භාවය නැතිව 2, 6 හා 10 පමණක් නිවේදනය වූ විට තම වෘත්තියෙන් පමණක් ආදායම උපයන්නෙකි. මෙහිදී 6ට වඩා 7 වැනි භාවය ප්‍රබල වූ විට හවුල් ව්‍යාපාරවලින් ආදායම උපයන්නෙකි.

නිල බලය හා ධන බලය එක හා සමාන නොවෙයි. නිල බල නොමැති අය හදිසි ධනවතුන් වෙනවා ඇති. එසේම නිලයෙන් උසස් අය දිළින්ඳන් වෙනවා. ආදායම් ලැබීමට කේන්ද්‍රයක 10ට වඩා වැදගත් වන්නේ 11 වැනි භාවයයි. 2 භාවයෙන් ආදායම ලබාගැනීමේ හැකියාවත් 11 භාවයෙන් සාර්ථක බවත් පෙන්වනවා. 6 වැනි භාවයෙන් ණය ලබාගැනීමේ හැකියාව ද පෙන්නුම් කරයි. ප්‍රතිවාදීන්ට අවාසි ගෙන දීම ද මෙමගින් දැක්වෙනවා. බොහෝ අය 6 වැනි භාවය ඉවත දමනුයේ එමගින් කෙනෙකු ණයකරුවකු බවට පත් කරන නිසයි. එසේ වුවද ණයකාරයන්ගේ ද විවිධ මට්ටම් තිබෙනවා. කෝටිපතියන් ද ණයකරුවන් වී සිටිනවා. ලෝකයේ සිටින ඕනෑම කෝටිපතියකු කවදා හෝ බැංකුවකට ණය වී සිටින්නට පුළුවන්. බැංකුවෙන් ණයක් නොගෙන ව්‍යාපාර අරඹා කෝටිපතියකු වෙන්නට අපහසු වෙනවා ඇති. ඒ නිසා 11 සහ 2 භාව සමඟ 6 ප්‍රබල වූ විට හෝ විශාල වශයෙන් ණය ගෙන ව්‍යාපාර අරඹා පොහොසත් වෙනවා. එය හදිසියේ මුදල් ලබා කෝටිපතියකු වීමට වඩා වැදගත්ය.

ධනය ඉපැයීම ඉතාම අඩමාන තත්ත්වයක්. එම අඩමාන භාවය වන්නේ 5 වැන්නයි. අඩමාන ධන යෝජනා කොන්ත්‍රාත් ආදිය පෙන්වන්නේ 5 වැනි භාවයෙන්. සූදුව පෙන්වන්නේ  මෙයින්. මෙලෙස අඩමාන මුදල් ආයෝජන සූදුව විය හැකිය. ඇතැමුන් සූදුවෙන් දිනා කෝටිපතියන් වන අතර එම මුදල් නිසි ලෙස කළමනාකරණය නොකර විනාශයට පත්කරගෙන අන්ත දිළින්ඳෙකු වෙයි.

ජ්‍යොතිෂවේදී රොහාන් වීරරත්න
පානදුර