බුධගෙන් සත්රුවන් ලැබෙනවා


කේන්ද්‍රයක රාශි 12 න් කෙරෙන්නේ දන්නා දෙය උපයෝගී කරගෙන නොදන්නා දේ සෙවීමක්. කෙනෙකුගේ කේන්ද්‍රයේ රාශි 12 ග්‍රහයන් පිහිටීම අනුව ඔහුගේ ශුභ අශුභ තත්ත්වය සෙවිය හැකියි. කෙනෙකුගේ අයස්ථානය, ධන තත්ත්වය, ධන හානිය ආදිය ද මෙම ග්‍රහ පිහිටීම් අනුව අනාවරණය වෙනවා. රාශි 12 න් 1, 4, 7, 10 ධනය පිළිබඳ කතා කරන විට අතිශයින් වැදගත්. මෙහි ග්‍රහයන්ගේ පිහිටීම සංයෝග, වියෝග, ශුභ, අශුභ, නීච ක්ෂේත්‍ර සහ උච්ච ක්ෂේත්‍ර ලෙස ද සලකා බලනවා. යමෙකුගේ කේන්ද්‍රයේ 1, 4, 7, 10 යන කොටුවල ග්‍රහයන් දුර්වල වුණොත් ඔහු කෝටිපතියකු වුණත් ධනය රඳා පවතින්නේ නැහැ. අන්ත දිළින්ඳකු වෙනවා. අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ ලෙස රාශි 12 කොටස් 4කට බෙදෙනවා. ආර්ථිකයට වැදගත් වන්නේ අර්ථයි. 2, 6, 10 කොටු ආර්ථිකයට බලපානවා. 2 ධනස්ථානය, 6 ධනය එක්රුස් කිරීම, 10 පාලනය, රාශි චක්‍රයේ මෙම 3 ස්ථාන සලකා බැලිය යුතුයි.

එසේම 8 ශක්තිමත් නම්, නිධන් වස්තු, පතල් වලින් ගන්නා මුතු මැණික් ආදී වස්තු, භූමි ලාභ ඇතුළු මහ පොළොවෙන් හිමිවන සියලු ධනය ලැබෙනවා. මෙහිදී උපතින්ම 1 කොටුව ප්‍රබල වීමද වැදගත්. 1 කොටුව නීච වුණොත් අනිත් මොන ග්‍රහයන් තිබුණත් වැඩක් වෙන්නේ නැහැ.

බුධ ග්‍රහයා ජංගම හා ස්ථාවර දේපලවලට විෂය වෙනවා. සත් රුවන් ලැබෙන බව කියනවා. ඉතාම දුක්ඛිතව, විවිධ රෝගාබාධවලට ලක්ව සිටින අය වුවද හදිසියේ ධනපතියන් විය හැකියි. රෝහලක නේවාසිකව ගත කරන රෝගියෙක් ඒ අසල ස්විප් විකුණන ස්ථානයකින් ටිකැට්ටුවක් මිලට ගෙන කෝටිපතියකු විය හැකියි. එහෙත් වැඩි කලක් නොගොස් ඔහු ඒ රෝගයෙන්ම මිය යා හැකියි. යමෙකුට උත්පත්තියෙන් යමක් ලැබෙන්නට තිබේ නම් එය ලැබෙනවාමයි.

කේන්ද්‍රයක 4 කොටුව ගරුක කර්මය හැඟෙනවා. එය කෙනෙකුගේ හදවත ලෙස හැඳින්විය හැකියි. සියල්ල අභිබවා එය විපාක දෙනවා. මෙය යහපත හෝ අයහපත වන්නට පුළුවන්.

කේන්ද්‍රයක 6 කොටුව උපපීඩක කර්මය ලෙස සලකන අතර ලැබුණු ධනය විනාශ වීම එහි ලක්ෂණයයි. ඥාන ශක්තිය දුර්වල වීම, පසුගාමිත්වය, නාස්තිය, පාපමිත්‍ර සේවනය වැනි හේතු නිසා සියල්ල අඩපණ වීම සිදුවෙනවා. වැඩීගෙන එන ගොයමක් ගංවතුරකින් විනාශ වෙනවා මෙන් සිදුවන්නේ සංසාරයේ හඹා එන පව් නිසයි.

8 කොටුව ශක්තිමත් වූ විට පරම්පරාගත විශාල ධනයකට හිමිකම් කීමට පුළුවන්. ඇතැම් දෙමාපියන් තම ධනය සියලු දරුවන් නොසලකා එක දරුවකුට පමණක් ලියන අවස්ථා තියෙනවා. මෙලෙස සිදුවන්නේ 8 කොටුවේ ග්‍රහ පිහිටීම් ප්‍රබල වීම නිසයි.

එසේම ග්‍රහයන් අනුව සලකන විට කෙනෙකුගේ අඟහරු අයහපත්ව පිහිටා ඇතිවිට ඔහු අන්ත දිළින්ඳකු වීම වළක්වන්න බැහැ. රවි ග්‍රහයා නීච වුවහොත් ඥාතින්ගෙන් දුරස් වෙයි. ඔහු මෙහෙකරුවකු බවට පත්වෙනවා. බුධ අයහපත්ව පිහිටි විට ඥාති ශක්තිය දුර්වල වී කිළිටි අයකු බවට පත්වෙයි. බොහෝ දෙනාගේ දෝෂාරෝපණවලට ලක්වෙනවා ඇත.

ජ්‍යොතිර්කීර්ති කොත්මලේ විජිත ඩී. ලියනාරච්චි