උපතින්ම ධනවතුන් වෙනස් වන්නේ නැහැ


කෙනෙකුගේ උත්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයන් පිහිටන්නේ පෙර කළ පව් පින් අනුවය. විශේෂයෙන්ම කේන්ද්‍රයක 9 කොටුව බලවත් වීම එම ජන්මියා මතු ධනවතකු වීමට බලපානවා. 9 බලවත් වීම යැයි කියන්නේ වෙනත් ග්‍රහයන්ගෙන් සතුරු නොවී සිටීමයි. කොතරම් යහපත් ලෙස ග්‍රහයන් පිහිටියත් එම බලයට වෙනත් ග්‍රහයන් නිසා පීඩා දෙනවා නම් වැඩක් නැහැ. 9 කොටුව බලවත්ව තිබී 10 වැන්නේ අයිතිකරු ද 9 පැමිණ සිටිනවා නම් තවත් ප්‍රබල වෙනවා. 11 වැන්න අධිපතියා 9 වැන්නේ සිටීම ද හදිසි වාසනා ගෙන දෙන ප්‍රබල යෝගයක්. මිත්‍ර ස්වක්ෂේත්‍රඵල බලය තිබිය යුතුයි.

ලග්නාධිපති සමඟ 11 වැන්න අධිපතියා සංයෝග වී 9 වැන්නේ සිටීම ද හදිසි ධන ලාභ දෙන තවත් පිහිටීමක්. 2 වැන්න සහ 11 වැන්න යේ සිටීම ද තවත් ප්‍රබල වාසනා යෝගයක්. මෙලෙස ජන්මියකු උපත ලැබූ විට පෙර පින් අනුව ධන වාසනා හිමිවෙනවා. තවද 2 වැන්න අධිපතියා සමඟ රාහු එකතු වී 11 වැන්නේ සිටි විටද හදිසි ධන වාසනා ගෙන දෙනවා. මේ ආකාරයට උත්පත්තියෙන් පිහිටන ධනයෝග ප්‍රබලයි.

එසේම, කෙනෙකුගේ උත්පත්තියෙන් මෙවැනි ග්‍රහයන් නොමැතිව වුවද වෙන තැන්වල සිටිමින් හෝ ගෝචර ගමනින් යුක්ත වූ විට වාසනාව ගෙන දෙනවා. ඒවා විශාල ධන වාසනා නොවුණද මධ්‍යම ප්‍රමාණයේ ඒවා විය යුතුයි. උදාහරණයක් ලෙස කිවහොත් කෙනෙකුගේ රාහු උපතින්ම දුබලව සිටි අවස්ථාවක දී වුවද ගෝචර ගමනින් 11 වැන්නේ සිටී නම් වාසනාව ගෙන දෙනවා. 11 වැන්න අධිපතියා උපතින් දුර්වලව සිටි විටෙක ගෝචර ගමනින් 9 වැන්නේ සිටී නම් හදිසි වාසනාව ලැබෙනවා.

එහෙත් කිවයුතු වන්නේ මෙවැනි තත්ත්වයන් තාවකාලික බවයි. මෙලෙස හිමිවන චාන්ස් එම ග්‍රහයා එතැනින් ඉවත් වූ විට අහෝසි වෙනවා. ඇතැම් වෙලාවට යළි තිබූ තැනින් ද පහළට වැටිය හැකියි. මෙවැනි ප්‍රතිඵල ලැබූ අය අප සමාජයේ ඕනෑ තරම් සිටිනවා. හදිසියේ ස්විප් ජයක් ලැබී ධනපතියකු වූ අයකුට එය දරාගත නොහැකිව කෙටි කාලයක දි ධනය විනාශ කරගෙන අන්ත දිළින්ඳෙකු වෙනවා. මෙලෙස හදිසියේ වදින වාසනාව තාවකාලිකයි.
ජ්‍යොතිෂවේදී ජේ. ගුණපාල, හොරණ