මිත්‍යා මත බැහැර කර ජ්‍යොතිෂ්ශාස්ත්‍රය රැක ගනිමු


​ෙමරට පැරණි ඉතිහාසය හෝ යටත් පිරි​ෙසයින් ඉකුත් වසර පනහක හැටක මෑත අතීතයේ දී අපගේ වැඩිහිටියන් විසින් ඉටු කරන ලද සමාජ මෙහෙවර කෙරෙහි අවධානයක් යොමු නොකරන වත්මන් තරුණ පරපුර ගමන් කරන්නේ කුමන අරමුණක් සාර්ථක කර ගැනීම පිණිස දැයි බොහෝ දෙනෙක් විමසා සිටිති. 
  
විද්‍යා තාක්ෂණික දැනුමක් ඇතත් පැරණි සාහිත්‍ය පත පොතේ දැනුමක් ලබා ගැනීමට ඔවුන් උනන්දුවක් නොදැක්වීම මෙහිදී කැපී පෙනේ. තම අනාගතය යහපත් කර ගැනීමට වැඩිහිටියන් දෙන උපදෙස් අනුගමනය නොකරන ඔවුහු අන්තර්ජාලයෙහි දක්නට ලැබෙන හරසුන් චරියාවන් වැළඳ ගනිති. ඒවා මනුෂ්‍යත්වයට නිගා දෙන වාණිජ අරමුණු පමණක් ඉටු වීමක් බව ඔවුහු වටහා නොගනිති.   

කාර්මික ජීවන රටාවකට මෙන්ම ධාර්මික ඇවතුම් පැවතුම්වල අපගේ වැඩිහිටියන් නිරතව සිටින ලද්දේ බුදු දහම හා බැඳුණු ජ්‍යෙතිෂ් ශාස්ත්‍රීය පිළිවෙත් අනුගමනය කිරීම නිසාය. අවට පරිසරයේ ජීවත්වෙන සතා සිව්පාවන්ට පවා කිසිදු හානියක් නොකිරීමටත් වියළි කොළ, නිවසේ ඉවත දමන අළු මෙන්ම සත්ව අප ද්‍රව්‍ය මිශ්‍ර කර සාදාගත් පොහොර භාවිත කිරීමෙන් හා ඊට කෙම් ක්‍රම ද උපයෝගී කර ගන්නා ලදි. කුඹුරු වගාව මෙන්ම හේන් ගොවිතැන ද සරුසාර කර ගත්තේ ඒ අයුරිනි. කුඹුරු ගොවිතැනේ දී සීමිත ඉඩ කඩක කුරුලු පාළුව නමින් අස්වැන්නෙන් කොටසක් වෙන් කිරීමට පැරැන්නන් අමතක නොකිරීම ද ඊට කදිම නිදසුනකි.   

මස් රාත්තලයක් සපයා ගැනීමට බලාපොරොත්තුවෙන් ගව / ඌරු වැනි සත්ත්වයන්ට ආහාර පිණිස රාත්තල් 28 ක පමණ ධාන්‍ය ප්‍රමාණයක් (අපරදිග වැසියන් විසින්) ලබා දෙන ලද්දේ ද ඔවුන් තුළ කර්ම ශක්තිය පිළිබඳ දැනුමක් නොමැති වීම නිසාය. ඉහත කී ආර්ථික රටාව නිසා අනාගත ලෝකයේ ආහාර හිඟයක් ද මතු වන බව මීට දශක පහකට පමණ පෙර පෙන්වා දෙන ලදදේ අප රට බෞද්ධ දාර්ශනිකයකු මෙන්ම විද්‍යා ආචාර්යවරයකු වූ ඊ.ඩබ්. අදිකාරම් මහතා විසිනි.   

අද දවසේ බටහිර ඖෂධ භාවිතය දියුණු බවට ඇතැමකු පුරසාරම් දොඩන නමුදු අපගේ පාරම්පරික වෙදකම අනුගත වූයේ ද ජ්‍යොතිෂ් ශාස්ත්‍රයේ එක් අංගයක් වන තත්කාල ශාස්ත්‍රය ද ආධාර කරගෙනය. අද මෙන් මුදල් පසුපස නොගිය වැඩිහි​ටියෝ මනුෂ්‍යත්වයට මුල් තැන දෙමින් අන් අයට පිහිට වීමේ පුණ්‍යය කර්මයෙහි ආදීනව පැහැදිලි කළහ. ඇතැම් අවස්ථාවල දී වෙදකම කරන අතරතුර එහි ඉක්මන් සුවය ලබාගැනීම පිණිස ගුප්ත ශාස්ත්‍රානුකූලව යන්ත්‍ර මන්ත්‍ර හා කෙම් ක්‍රම ද ඊට එක් කර ගන්නා ලදි.   

තත්කාල ශාස්ත්‍රය මගින් රෝගය හඳුනාගන්නා පාරම්පරික වෙද මහතා ඊට අවශ්‍ය අවට පරිසරයෙන් සොයා ගන්නා ​ඖෂධ සංයෝග කිරීම විශේෂත්වයක් විය. පැරණි රජ දවස ඔසු උයන් බිහි වූයේ ද ඊට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ. විදේශ ආක්‍රමණයන්ට අප රට ගොදුරුවීමෙන් පසු මෙතෙක් පැවති වෙද හෙද කම් මෙන්ම හෙළ සංස්කෘතික චර්යා රටා සියල්ලම උඩු යටිකුරු වීමේ ප්‍රතිවිපාක වත්මන් සමාජ කටයුතුවලදී තවදුරටත් දක්නට ලැබේ.   

දේශීය වෙදකමට ගරු කළ ඇතැමෙක් දියණිය හෝ පුත්‍රයා බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරීම පිණිස යොමු කිරීමද තවත් ඛේදනීය තොරතුරකි. මෙතෙක් රැකගෙන පැමිණි බෙහෙත් වට්ටෝරු හා රහස් වත් පිළිවෙත් ද අභාවයට යාමට එය හේතු විය. ජ්‍යොතිෂය හා හෙළ වෙදකම මිත්‍යා මත ගොඩනැගුණු ඒවා බවට ඇතැමෙකු ප්‍රසිද්ධියේ පැවසීම නිසා නූතන තරුණ පරපුර නොමඟ ගොස් ඇත. ඒවා විද්‍යාත්මක නොවන බවට කටමැත දෙඩවීම ද කනගාටුවට කරුණකි. අද ලොව පවත්නා සියලු දේ විද්‍යාත්මක නොවන බව ඔවුනට නොවැටහීම පුදුමයක් ද නොවේ.   

විසි පොරොන්දම් ගැලපීමේදී ගස් පොරොන්දම (වෘක්ෂ) පසුපස යන ඇතැමෙක් ස්ත්‍රී / පුරුෂ දෙදෙනාම කිරි වෘක්ෂ හිමි වූයේ නම් දරු පළ තිබෙන බවට මතයක් ඉදිරිපත් කළහ. එහෙත් ඉහත කී න්‍යාය පසු පස ගිය බොහෝ දෙනකුට දරු පළ හිමි වූයේ නැත.   

ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම පස් වැන්න, පස් වැන්නට ලැබෙන සුබ අසුබ දෘෂ්ටි පුත්‍රකාරක ගුරු ග්‍රහයාගේ තත්ත්වය මෙන්ම පස් වැන්නාධිපති ග්‍රහයා නවාංශක කේන්දරයේ පිහිටීම ද සියුම්ව පරීක්ෂා කිරීමෙන් දරු පළ ඇති නැති බව හෝ හීන බව දැන ගත හැකිය. දරු පළ හීන බවක් පෙනී යන්නේ නම් පාරම්පරික වෙදකම අනුව ටික කාලයක් ඔසු ශාකයන් භාවිත කිරීමෙන් එක් දරුවකු හෝ ලබා ගැනීමට හැකියාව ලැබේ.   

ස්ත්‍රී නැකතේ සිට පුරුෂ නැකතට ගැණ බැලූ විට නොගැලපෛන්නේ නම් එවැනි කේන්දර ඉවත දැමීමද තවත් දුර්වලකමකි. දෝෂභංග වන ග්‍රහ පිහිටීම් තිබේ දැයි පරීක්ෂා කිරීමෙන් සහනයක් ලබා ගත හැකි වේ. විසි පොරොන්දමේ එන ආයු පොරොන්දම කෙරෙහි විශ්වාසය තැබීම ද බොහෝ දෙනකුට වැරදී තිබෙන තවත් මතයකි. ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ආයු බලය දැන ගැනීමට නම් නවාංශක කේන්දරය, නැකැත් පාද මෙන්ම ලග්නාධිපති හා භාග්‍යස්ථානාධිපති ග්‍රහයාගේ තත්ත්වය කෙරෙහි ද පුළුල්ව අවධානය යොමු කළ යුතු වේ. (ඉන්දීය ජ්‍යොතිෂයේ දැක්වෙන ජෛමිණී සූත්‍රය ඇසුරෙන් ආයු බල පරීක්ෂා කරන අය අප රට සිටින්නේ ද ඉතා අතළොස්සකි.)   

පොරොන්දම් තත්ත්වය සියයට අනූවක් නිවැරදි වුවත් ඔහුට හෝ අැයට මාරාන්තික රෝගයක් නුදුරු අනාගතයේ දී වැළඳිය හැකිද? කල් පවතින මානසික දුර්වලතාවට ලක්විය හැකිද? මාරක යෝග හේතු කොට ගෙන විවාහ​ෙයන් පසු කලත්‍රයාගේ ආයු බලය දුර්වල කිරීමට හේතු වේ දැයි දැනගැනීමට නම් සියුම්ව ග්‍රහ පිහිටීම් පරීක්ෂා කළ යුතු වේ.   

ගුරු ග්‍රහයාගේ ලග්න භාවයේ පිහිටීම දෝෂ භංග යෝගයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති. හය අට අධිපතීන් කේතු ග්‍රහයා සමග යෝග වී ලග්න භාවයේ නම් භූත බලපෑම් හේතුකොට ගෙන සිහිමඳ ගතියකින් යුක්ත කෙනෙකු වේ.   

සිව් වැන්න හා හය වැන්න අධිපතීන් යෝග වී හය අට දොළහ දුෂ්ට රාශි ගත වී තිබේ නම් අපල කාලවලදී බන්ධනාගාර ගත වීමට ද සිදු වන බව මෙහිදී අමතක නොකළ යුතුය.   

ජ්‍යොතිෂ ශාස්ත්‍රය පුළුල්ව හැදැරීමෙන් තොරව ජ්‍යොතිෂ කටයුතු කරන වර්තමානයේ බොහෝ දෙනෙක් පැරණි පත පොත නොකියවීම ද නිසි ගුරු ඇසුරක් නොලැබීම මෙන්ම අත්දැකීම් නොමැතිවීම නිසා ද ඔවුන්​ෙග් පලා පල කථනයන් හරසුන් ප්‍රකාශ බවට පත්ව තිබේ. එසේම අද දවසේ ජ්‍යොතිෂය බඩ වඩා ගැනී​ෙම් ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ ද පොරොන්දම් විස්සෙන් ඔබ්බට අවධානය යොමු නොකිරීම නිසාය.   

ජ්‍යොතිර්වේදී 
මිල්ටන් හේවාපතිරණ,   
330/සී/1/3   
සර්පන්ටයින් මහල් නිවාස,   
බොරැල්ල. කොළඹ 08.
0776518820