රාහු කේතු ග්‍රහ මාරුව 2019 මාර්තු 07


නවීන තාරකා විද්‍යාව තුල ග්‍රහයන් ලෙස හදුනා නොගත් නමුත් වේදීය ඉතිහාසය තුල මනුෂ්‍ය ජිවිතයේ තවත් මග ලකුණක් වූ රාහු සහ කේතු ග්‍රහ මාරුව 2019 මාර්තු 07 වනදා සිදුවේ.ආලෝකය ලබාදෙන්නා වූ රවි හරහා බුද්ධිය මූලික ලෝක ධර්මතාවයන්ට මගහෙළිවන අතර රවිට සතුරු වූ රාහු හරහා බුද්ධිය යටපත්වූ කාම රාග තෘෂ්ණාවන්ට ලෝකය විවරවේ.සූර්‍ය ආලෝක කිරණ පෘතුවියට පැමිණීම වැලැක්වීමට සමත් කිසිදු ග්‍රහ වස්තුවක් නොමැති නමුත් සූර්‍යාලෝකය වැලැක්වීමේ හැකියාව රාහුට ලැබේ.මේ අතරම පෘතුවියෙහි ධන සහ සෘණ අග්‍රයන්ට බලපෑම් කිරීමේ හැකියාව රාහු සහ කේතු යන ඡායා ග්‍රහයන් සතුවේ.පෘතුවිය සහ එහි භෞතික පැවැත්මටත් රාහු ග්‍රහයා ප්‍රබල බලපෑමක් ඇතිකරයි.ඒ ආකාරයෙන්ම මනුෂ්‍ය ජීවිතයේ සමස්තය තුලට යම් අසුබ බලපෑම් ක්‍රියාත්මක වන කර්මාණුරූප කාලයන් හදුනාගැනීමේ සංකේතයක් ලෙස රාහුගේ පිහිටීම් , සහ ග්‍රහ චාරය වැදගත්වේ.රාහු සහ කේතු යන ග්‍රහ ලක්ෂයන් සෑම විටම අදුරේ පවතින අතර කිසිවිටෙක ආලෝකය නොලබයි.අදුර තුල සෑම විටම සුබ දෙයක් පැවතිය නොහැකි අතර අසුබ හෙවත් පාප කර්මයන්ගේ එක්වීම මෙහි සිදුවේ.රාහු ග්‍රහයාගේ අනෙක් අන්තයේ සෑම විටම කේතුගේ පිහිටීම වන අතර කාම රාග තෘෂ්ණාවන්ගෙන් තොරවූ මෝක්ෂය කේතු නියෝජනය කරයි.මේ අනුව රාහු කේතු යනු ලෞකික සහ ලෝකෝත්තර යන මාර්ගයන්ගේ සඤ්ඤාවන්වේ.ලෝක භෞතික තත්වයන්ට සහ පුද්ගල ආත්මීය තත්වයන්ට  බලපෑම් සහිත රාහු සහ කේතු ග්‍රහයන් 2019 මාර්තු 07 වනදා පිළිවලින් මිතුන සහ ධනු රාශියට පැමිණීම සිදුවේ.මෙතැන් සිට ඉදිරියට වසර 01 යි මාස 06 යි දින 16 ක් පුරා මිතුන සහ ධනු රාශි තුල ගමන් ගන්නා රාහු සහ කේතු ග්‍රහයන් 2020 සැප්තැම්බර් 23 වනදා මිතුන සහ ධනු රාශි තුලින් ඉවත්වේ.මෙම සිදුවීම හරහා ලෝක ධර්මතාවයන්ට බලපෑම් ඇතිවන අතර පුද්ගල ආත්මීය කර්මඵලයන් ක්‍රියාත්මකවීමේ රටාවන්හි වෙනසක් ඇතිවනවා ඇත.

ලෝකයේ අන්තවාදී කල්ලි කණ්ඩායම් බිහිවේ.ඔවුන්ගේ අන්තවාදී ක්‍රියාවන් ලෝකය තුල වැඩි වශයෙන් ව්‍යාප්තවනවා ඇත.ආගමික අන්තවාදය මෙන්ම ආගම් තුලට මිනිසුන් යොමුකරගැනීම වැඩිවේ.ආගම් මාරුව සිදුවේ.ආගමික මතවාදයන් විකුර්ති කිරීම් වලට හසුවේ.යම් යම් පටු අරමුණු සදහා මේවා සිදුවනවා ඇත.බුද්ධිමතා සමාජයෙන් ඉවත්වේ.බුද්ධිමත් යැයි කියාගන්නා පිරිසක් විසින් බුද්ධිමය වෙස්ගන්නවා ඇත.ලෝකයේ විද්‍යාත්මක සියුම් සහ අති විශේෂ සොයාගැනීම් සිදුවනවා ඇත.විද්‍යාත්මක පරීක්ෂණ නව දැනුම හරහා ගමන් කරයි.ලෝක විද්‍යුත් සංනිවේදනයට බාධා ඇතිවේ.ගුවන් අනතුරු සහිත කාලයකි.කාම රාග තෘෂ්ණාවෙන් ලෝකය අන්දවේ.ඒ අතර පිරිසක් ස්වාභාවික සහ කෘතිම විනාසකාරී සිදුවීම් නිසා විනාසයට පත්වනවා ඇත.එවැනි විශාල විපත් ඇතිවේ.යාන්තික තත්වයන් හරහා සිදුවන විනාශයන් මෙන්ම භූමිකම්පා , ගිණිකදු පිපිරීම් ආදී ස්බාවික විපත් හෙතුවෙන් පාපයට යොමුවූවන් සහ පාපයන් ගෙවනා අයවලුන් විනාසවේ.උත්සව සැනකෙලි ආදියට මෙලෙස අයහපත් බලපෑම් ඇතිවේ.අක්ඤාණයා ඤාණවන්තයාගේ කටයුතු කරනාවිට ඤාණවන්තය තමාගේම වූ ස්වාධීන මගකට යොමුවේ.මේ නිසා ආධ්‍යාත්මික අංශයෙන් දියුණුවන්නන්ද ප්‍රතිශතයක් ලෙස මෙම කාලය තුල වෙනදාට වඩා වැඩිවනු ඇත.එමෙන්ම අධෘශ්‍යමාන හැකියාවන් සහිතවූවන් පිලිබදව ප්‍රසිද්ධියක් ඇතිවේ.මැජික් සංදර්ශන ආදිය යෙදේ.මත්ද්‍රව්‍ය පුලුල් ලෙස ව්‍යාප්තවන අතර සමාජයේ වැදගත් පිලිගත් අයද මේ නිසා එයට ඇබ්බැහිවීම් ඇතිවේ.එමෙන්ම හදුනා නොගත් මත්ද්‍රව්‍ය සමාජගතවේ.දරුවන් මේවාට වැඩිවශයෙන් හසුවනවා ඇත.නව යොවුන් ලෝක සමාජයම පරිවර්තනයකට ලක්වනවා ඇත.මේ ආකාරයේ වූ විශේෂතාවයන් රැසක් රාහු මිතුන රාශියේ සහ කේතු ධනු රාශියේ ගමන් කරනා කාලය තුලදී සිදුවනවා ඇත.


මේෂ ලග්නය 

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් තුන්වැන්නට රාහුගේ පැමිණීමත් ලග්නයෙන් නමවැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.යහපත් හිතමිත්‍ර ලාබ ලැබේ.ස්ත්‍රී පුරුෂ ලාබ සහිත අතරම බෞතිකමය වශයෙන් දියුණුව අපේක්ෂාකල හැකිය.එමෙන්ම ප්‍රසිද්ධියට අවස්තාව සහිතය.ගෞරවය ලැබීමක් සහිත කාලයක් නමුත් ඒ අතර තුර විශේෂ නින්දාවකට අපහාසයකටද හේතු පවතී.පිට පලාත් සමග සබදතා හිතවත්කම් ඇතිවන අතර විදෙස්ගතවීමේ බලාපොරොත්තුවෙන් සිටී නම් ඒ සදහා සාර්තක අවස්තා හිමිවනවා ඇත.විදෙස්ගත අයගේ උදව් උපකාර හිමිවනවා ඇත.නව කටයුතු ආරම්බ වන අතර මෙතෙක් අතහැර දමා තිබූ හෝ ප්‍රමාද වෙමින් පැවති කටයුතු නැවත ආරම්බවී ඒවායෙන් ලාබ ප්‍රයෝජන ලැබිය හැක.සහොදර සහෝදරියන් සම්බන්ධව පැවති දුරස්තාවයන් අවසන්ව නැවත සබදතා හිතවත්කම් ඇතිවේ.පවුලේ කෙනෙකුට විශේෂ වශයෙන් කරදරයක් ගැටලුවක් යෙදිය හැකිය.විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුකරගැනීමට අවස්තාව ලැබෙනවා ඇත.මේ අතරම අධ්‍යාපණික කටයුතු සදහා බාධක මතුවේ.නපුරු සිහිණ පෙනේ.ආගම දහම  ඇදහීම් විස්වාසයන් පිලිබදව අංධ භක්තියක් ඇතිව කටයුතු කරයි.ගුප්ත දෙයින් වැඩ ගැනීමට සිත යොමුවේ.

වෘෂභ ලග්නය 

ඔබගේ ලග්නයෙන් දෙවැන්නට රාහුගේ පැමිණීමත් ලග්නයෙන් අටවැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.තම පවුල් ඒකකය සමග පැවැත්වූ සබදතා හිතවත්කම් යම් පමණකට හෝ දුරස්වීමකට ලක්වේ.පවුලේ සාමය සමගියට බාධා මතුවේ.ස්තානීය වෙනස්කම් සිදුවිය හැකිය.විදෙස්ගතවීමේ බලාපොරොත්තු ඉටුවේ.නිකරුනේ චෝදනාවන්ට ලක්වේ.කිසිදු වැදගත්කමක් නොවන දේ හේතුවෙන් අනවශ්‍ය ගැටලු මතුවනවා ඇත.සමගියෙන් සිටි පිරිසකගෙන් දුරස්වීමට අසමගිය සහ හිතමිත්‍ර ඇසුර දුරස්වීමකට අවස්තාව පවතී.සතුරන් ඇතිකරගනී.මිල මුදල් තත්වය පහත වැටේ.හදිසි පාඩු අලාබ ඇතිකරයි.එම පාඩු පියවා ගැනීමට ඉතිරිකල ධනය හෝ වෙනත් අයෙකුගෙන් ණයට ලබාගැනීම ආදිය සිදුවිය හැක.හදිසියේ මුදල් ලාබ විශේෂ ලෙස ලැබෙනා නමුත් එයින් නිසි ප්‍රයෝජන ලබාගැනීම අපහසුවනවා ඇත.නිශ්ඵල කටයුතු වෙනුවෙන් වැඩි වියදම් යෙදෙනවා ඇත.මෙතෙල් ලාබ ලැබෙමින් පැවති මාර්ග අවහිරවේ.එම නිසා රාහු දෙවැන්නේ ගමන් කරනා කාලය තුල මුදල් කටයුතු ඉතා ප්‍රවේසමෙන් යුතුව කලයුතුවේ.මූල්‍ය අංශයේ කටයුතු කරනා අය විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කිරීම යහපත් වනවා ඇත.ස්ත්‍රී පුරුෂයන් අතර හදිසි සබදතා ඇතිවන නමුත් එම සබදතා හදිසියේම බිදවැටෙනවා ඇත.විවාහ ජීවිත ගතකරනා අය විශේෂයෙන් තම විවාහය පවුල් ජීවිතය රැක ගැනීමට කටයුතු කලයුතුවේ.උගුරේ කටේ , මුහුණේ , ඇසේ ආබාධ මෙන්ම ලිංගාබාධයන් ඇතිවීමටත් අමනුෂ්‍ය බිය මතුවීමටත් අවස්තාව පවතී.

මිතුන ලග්නය

ඔබගේ ලග්න රාශියට රාහුගේ පැමිණීම සිදුවන අතර කේතු ලග්නයෙන් හත්වැන්නේ ගමන් කරයි.මෙතෙක් පැවති ජීවිත අරමුණු බලාපොරොත්තු වෙනසකට ලක්වනවා ඇත.නව අරමුණු බලාපොරොත්තු ඇතිවේ.හොදින් සිටි අයගේ නම නරක්වේ.නරකින් සිටි අයගේ නම යහපත්වේ.ප්‍රසිද්ධිය ලැබීමේ අරමුණින් කරනා කටයුතු සාර්තකවේ.නාමය පැතිරේ.නව හිතමිත්‍ර සබදතා සමාජ සබදතා ඇතිවනවා ඇත.දුරස්ව අමනාපයෙන් සිටි අය නැවත මිත්‍රවේ.රැකියාව සම්බන්ධවද කිසියම් පමණක වෙනසක් බලාපොරොත්තුවිය හැක.රැකියා සදහා විදෙස්ගතවීමට සාර්තක වනවා ඇත.මිල මුදල් ආර්තිකයේ මෙතෙක් පැවති බාධා ගැටලු යම් පමණකට හෝ විසදා ගැනීමට අවස්තාව සැලසෙනවා ඇත.නමුත් දුරදිග බලා බුද්ධිමතව කටයුතු කිරීම යහපත් වන අතර රාහු ලග්නයේ ගමන් කරනා බැවින් බුද්ධි මාර්ගය අවහිරයට ලක්වේ.මෝඩකම් කිහිපයක් හෝ සිදුවේ.නින්දාවකට අපහාසයකට අවස්තාව සහිතය.එමෙන්ම නීතිමය ගැටලු මතුවීමටත් බොරු චෝදනාවන්ට හසුවීමටත් අවස්තාව සහිතය.විවාහ අපේක්ෂකයන්ගේ එම බලාපොරොත්තු ඉටුවේ.නමුත් විවාහකයන්ගේ විවාහයට බාධක වන සිදුවීම් සිදුවනවා ඇත.නිතර ගමන් බිමන් යෙදෙනවා ඇත.නිවසේ හෝ කාර්‍යාලයේ ගතකරනා කාලය අඩුවේ.තම වගකීම් යුතුකම් මගහැරීමක් සිදුවෙයි.නහර ස්නායු සම්බන්ධ රෝග දුබලතා මෙන්ම මානසික ගැටලුත් මතුවේ.භාහිර සමාජයේ ඇස්වහට , ඊර්ෂ්‍යාවට වෛරයට මෙන්ම කෝපයට ලක්විය හැක.

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොලොස්වැන්නට රාහුගේ පැමිණීමත් ලග්නයෙන් හයවැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.මේ සමගම නිතර ගමන් බිමන් යෙදෙනවා ඇත.නමුත් සුවදායක පහසු හෝ ලාබ දායක ගමන් බිමන් නොවනවා ඇත.හදිසි පාඩු අලාබ ඇතිකරවයි.රැකියාවට අමතර වූ ලාබ සදහා වෙහෙසීමට සිදුවනු ඇත.ස්වාමියා සහකරු විවාහය යන සාධකයන්ට හානිකර වූ සිදුවීම් සිදුවිය හැකිය.පවුලේ දියුණුවටත් සමාය සමගියටත් බාධා ඇතිකරයි.රහස් සතුරන් ඇතිවේ.සතුරා බලවත්වේ.නීතිමය ගැටලු හෝ නින්දා අපහාසයන් ඇතිවීමට අවස්තාව සහිතයි.එමෙන්ම තම උදව්කරුවන්ගෙන් , මගපෙන්වන්නන්ගෙන් ගුරුවරුන්ගෙන් දුරස්වීමට හෝ ඔවුන් සමග මතබේධ ඇතිවීමට අවස්තාව සහිත කාලයක් වනු ඇත.පවුලේ වැඩිහිටියන්ට මෙන්ම තම සෞඛ්‍ය තත්වයටද යහපත් නැත.ඇස පෙණීම පාදය , මොළය ආදී අවයවයන්ට බලපෑම් ඇතිවේ.දැනට කිසියම් ගැටලුවකින් හෝ රෝගයකින් පෙලෙන්නේ නම් ඒවාගේ වර්ධනයක් ඉදිරි කාලය තුලදී ඇතිකරයි.බුද්ධිමත්ව කටයුතු කිරීම යහපත් වනු ඇත.

සිංහ ලග්නය

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් එකොලොස්වැන්නට රාහුගේ පැමිණීමත් ලග්නයෙන් පස්වැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.මෙතෙක් පැවති ආර්තික ගැටලු අගහිගකම් යම් තරමකින් හෝ විසදා ගැනීමට මගහරවා ගැනීමට අවස්තාව ලැබෙනවා ඇත.එමෙන්ම මෙතෙක් ඇසුරුකල පිරිසෙන් වෙනස්ව නව හිතමිත්‍රයන් පිරිසක් හමුවනවා ඇත.රැකියාවට අමතර වූ ලාබ ලැබෙනවා ඇත.විදෙස්ගතවීමේ බලාපොරොත්තු සහ විවාහවීමේ බලාපොරොත්තු ඉටුවනවා ඇත.දියුණුවට අවස්තාවක් සහිත අතර දේපල වර්ධනයටත් නව නිවාස දේපල ආදියේ යහපත් කටයුතු ආරම්බයටත් අවස්තාව හිමිවේ.ආගම දහමට සම්බන්ධවූ කටයුතු යෙදෙනවා ඇත.සංචාරක ගමන් හෝ වන්දනා ගමන් යෙදෙනවා ඇත.විවාහයට බිරිදට මෙන්ම දරුවන් සම්බන්ධවද යහපත් නැත.දරුවන්ගේ ගැටලු ඇතිකරයි.පවුලට නව සාමාජිකයන් එක්වනවා ඇත.නීතිමය ගැටලු ආදිය පැවතියේ නම් එයින් නිදහස් වීමට අවස්තාව ලැබෙනවා ඇත.කෙසේ උවත් වැඩි වියදමක් දරනා කාලයකි.සුලුවෙන් කරනා කටයුතු සදහා උවද වැඩි වියදමක් දැරීමට සිදුවේ.අධ්‍යාපනයට බාධා ඇතිකරවයි.උදරගත රෝග ඇතිකරයි.අනෙකාගේ සැකයට ලක්වන කටයුතු ඔබ අතින් සිදුවේ.

කන්‍යා ලග්නය

ඔබගේ ලග්නයෙන් දසවැන්නට රාහුත් ලග්නයෙන් සිව්වැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.ජීවිතයේ විශේෂ වෙනස්කම් වලට ලක්වීමට සිදුවනවා ඇත.රැකියාව ආදායම් මාර්ග සම්බන්ධව කුමනාකාරයේ හෝ වෙනස්කම් වලට ලක්වීමට සිදුවනු ඇත.ප්‍රධානීන් සමග මතබේධ ඇතිවේ.තම පවුලේ දියුණුවට බාධා ඇතිවන , දේපල අයිතීන් සහ එහි නියමාකාරයේ ප්‍රයෝජන නොමැතිවන පදිංචියේ නිවසේ තත්වයන්ට හානි වන සිදුවීම් සිදුවනවා ඇත.තමාගේ වටිනාකම් සහිත දේ කැඩීමට බිදීමට ලක්විය හැකි , තමාගේ දෙයින් අනෙකා ඵල ලබනා කාලයකි.නිවසේ ගෙදර දොර තත්වයේ වෙනස්කම් ඇතිවනවා ඇත.වාහනාදී දේපල මිලදී ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිනා අයට එම බලාපොරොත්තු ඉටුකරගැනීමේ අවස්තාව ඇත.නමුත් තිබෙනා වටිනාකම් විකුනා දැමීමක් හො අඩුම තරමේ එවැනි අදහස් හෝ ඇතිවනවා ඇත.තම පවුලේ අසනීපයකින් හෝ කිසියම් විශේෂ ගැටලුවකින් පෙලෙනා කෙනෙකු සිටිනවා ඇත.එමෙන්ම තම සිතට බියක් සැකයක් චකිතයක් දෙගිඩියාවක් නිතර ඇතිවේ.විදෙස්ගතවීමේ බලාපොරොත්තුවෙන් පසුවන්නේ නම් ඒ සදහා සාර්තක අවස්තාවන් හිමිවනවා ඇත.එමෙන්ම මෙම කාලය තුල සෞඛ්‍ය තත්වයන්ද නිතර නිතර පිරිහීමකට ලක්විය හැක.අමනුෂ්‍ය දෝශයන්ද ක්‍රියාත්මක වනවා ඇත.

තුලා ලග්නය

ඔබගේ ලග්නයෙන් නමවැන්නට රාහුගේ පැමිණීමත් ලග්නයෙන් තුන්වැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.මෙතෙක් පැවති මානසික අතාවරතාවයන්ට යම් සහනයක් ඇතිවේ.රැකියාව සම්බන්ධවද යම් සුබවාදී බවක් ඇතිවනවා ඇත.නමුත් මෙතෙක් නොපැවතියාකාරගේ ගැටලුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුවේ.බුද්ධියෙන් තොරව කටයුතු සිදුවේ.රැවටීම් ආදියට අවස්තාව පවතී.මුදල් ගනුදෙනුවකදී විශේෂ පාඩුවක් ඇතිවීමට අවස්තාව පවතී.පවුලේ සහොදර සහෝදරියන් අතර මතබේධ හෝ ඔවුන් නිසා ගැටලුවලට මුහුණ දීමට සිදුවේ.වැඩිහිටියන් සම්බන්ධවද විශේෂයෙන් පියා සම්බන්ධවද ගැටලු අයහපත්තාවයන් ඇතිකරයි.අධ්‍යාපනික කටයුතු සදහා බාධා මතුවේ.ගුණ ධර්මයන්ගෙන් දුරස්වේ.තමා අතින් වැරදි කිහිපයක් හෝ සිදුවේ.එම නිසා මෙතෙක් ඔබ පිලිබදව විස්වාසයෙන් කටයුතු කල අය වෙන්වීමක් සිදුවිය හැකිය.අයහපත් හෝ හිතුවක්කාර පිරිසකගේ ඇසුරට යොමුවිය හැකිය.එම නිසා හදිසි නොසිතූ ගැටලුකාරී තත්වයන්ට ලක්වීමට සිදුවිය හැකි අතරම මිල මුදල් ආර්තික තත්වයටද පාඩු අලාබ ඇතිකරයි.අසල්වැසියන් සමග පැවති හිතවත්කම් දුරස්වේ.නිතර අසල්වැසියා සම්බන්ධව සැකයෙන් කටයුතු කිරීමට සිදුවේ.කෙටි ගමන් බිමන් යෙදෙනා අතර රාත්‍රී ගමන් යෙදේ.එවැනි ගමනකදී හානියක් අනතුරක් කරදරයක් ඇතිවිය හැකිය.

වෘශ්චික ලග්නය

තමා ජීවත්වන නිවසේ පරිසරයේ වටපිටාවේ පැවති සහනය සැනසීම අඩුවීමකට ලක්වේ.ජීවත්වීම සදහා වූ සාධකයන් පවත්වාගැනීමේදී ගැටලුකාරී තත්වයන්ට ලක්වීමට සිදුවනවා ඇත.මිල මුදල් ආර්තිකය සම්බන්ධව තවදුරටත් ගැටලු ඇතිවනවා ඇත.මුදල් යොදවා කරන කටයුතු මගින් නියමාකාරයේ ලාබ නොලැබීයයි.නයවීමට , ගන් නය පියවා ගැනීමට අපහසුවේ.එමෙන්ම තමාට ලැබීමට පවත්නා මුදල්ද ප්‍රමාදයට ලක්වේ.ස්තානීය ගැටලු ඇතිකරයි.හිතමිත්‍රයන් දුරස්වේ.ලාබයට පමණක් වාසියට පමණක් මිනිසුන් ඔබව ඇසුරු කරයි.ඔබගේ ලාබයද ඔවුන්ම රැගෙන යයි.ඉතිරි කල මුදලටද හානි වන අතර වටිනාකම් සහිතදේ විකුනා මුදල් ලබාගැනීමට සිදුවිය හැකියි.එමෙන්ම තමාගේ වටිනාදේ කැඩී බිදීයයි.හදිසි නඩත්තු කටයුතු යෙදේ.ස්වාමියා සහකරු විවාහය සම්බන්ධ තත්වයන්ට හානි බාධා ගැටලු මතුවේ.සතුරන් විසින් පවුල් ජීවිතයට බලපෑම් ඇතිකරයි.සිතේ සැකය අනෙකා සම්බන්ධව ගොඩනැගේ.නින්දාවකට අපහාසයකට හෝ තමාගේ මෙතෙක් පැවති රහස් හෙළිවීමට අවස්තාව සහිතයි.තමා සමග සිටි වැදගත් හෝ උසස් අයගෙන් දුරස්වීමක් ඇතිවේ.කට වචනය නිසා පාඩු අලාබද නොසිතූ ගැටලුද ඇතිකරයි.සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් වසර ගෙවීයන 2019 වසර විශේෂ වශයෙන් ප්‍රවේසමෙන් කටයුතු කලයුතුවේ.

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්නට රාහුත් ලග්න රාශියට කේතුගේ පැමිණීමත් සිදුවේ.මෙම සිදුවීමද යහපත් යැයි පැවසිය නොහැක.මෙතෙක් පැවති ගැටලුකාරී තත්වයන් තවදුරටත් වර්ධනය වීමක් සිදුවනවා ඇත.සිතේ සහනය සැනසීම අඩුවේ.සැකය සංකාව කලකිරීම පසුතැවීම සහිතව කටයුතු කිරීමට සිදුවේ.අනාගතය පිලිබදව සුබදායක බලාපොරොත්තු ප්‍රබල නොවීයයි.රැකීයාවේ ආදායමේ හදිසි නොසිතූ ගැටලු ඇතිවේ.තමාට වෙනදා පැවති වටිනාකම් පිලිගැනීම් දුර්වල වන අතරම විශේෂ නින්දාවකට අපහාසයකට අවස්තාව සහිතය.එම නිසා ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුවනවා ඇත.මෙතෙක් පැවති සබදතා හිතවත්කම්ද දුරස්වීමකට ලක්වන අතර තමාට හමුවන පිරිසටද කිසියම් විශේෂ ගැටලුකාරී තත්වයන්ට ලක්වීමට සිදුවනවා ඇත.අසන දකින අයගෙන්ද සුබදාඅක දෙයක් කියවෙන්නේ නැත.විවාහ බලාපොරොත්තුවෙන් සිටිනා අයට ඒ සදහා විශේෂ අවස්තා පැවතියද විවාහ ජීවිත ගතකරනා අයගේ පවුල් ජීවිත තුල හදිසි ගැටලු මතුවනවා ඇත.සමාජීය දේශපාලනික කටයුතු වල නියුතු අයට මහත් බාධා මැද කිසියම් යහපතක් ඇතිකරගැනීමට අවස්තාව පවතී.අධ්‍යාපනයට බාධා ඇතිකරයි.වෙනදාට වඩා වැඩි උත්සහයකින් යුතුව කටයුතු කිරීමට සිදුවනවා නමුත් උත්සහයේ තරමට ප්‍රතිඵල නොලැබීයයි.ශරීර සනීපයද යහපත් නැත.යටපත්ව සැගව පැවති රෝගී දුර්වලතාවයන් මතුවනවා සහ ඒවාට ප්‍රතිකාර සොයා යාමට සිදුවේ.අමනුෂ්‍ය බියද ගුප්ත දෝශයන්ද මතුවී එයි.භාහිර සමාජයේ ද්වේශයට වෛරයට කෝපයට මෙන්ම සාප කිරීම් වලට ලක්විය හැකිය.මෙතෙක් ගතකල ජීවිතයට වඩා වෙනස් ආකාරයේ ජීවිතයක් ගතකිරීමට සිදුවිය හැකිය.

මකර ලග්නය

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හයවැන්නට රාහුත් ලග්නයෙන් දොලොස්වැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.රැකියාව සම්බන්ධව කිසියම් වර්ධනයක් යහපතක් ඇතිවේ.මෙතෙක් පැවති ගැටලු කිහිපයකින් නිදහස් වීමට අවස්තාව හිමි නමුත් නව ආකාරයේ ගැටලුකාරී තත්වයන්ට ලක්වීමට සිදුවනු ඇත.අමනාපයෙන් දුරස්වීමෙන් සිටිනා අය සමග නැවත යහපත් සබදතා ඇතිවේ.ස්ත්‍රී පුරුෂ ලාබ , කම්සැප ලාබ හිමිවේ.හිතමිත්‍ර ලාබ ලැබේ.විවාහ නොවූ අයෙකු නම් ඒ සදහා අවස්තාව හිමිවේ.සතුරන් පරදී.සතුරාද හිතවත්වේ.පවුලට නව සාමාජිකයන් එක්වනවා ඇත.දරුඵල ලාබ බලාපොරොත්තු නම් ඒ සදහා අවස්තාවක් සහිතය.නව දේ මිලදී ගැනීමටත් අතහැර තිබූ කටයුතු නැවත ආරම්බ කිරීමටත් අවස්තාව ලැබේ.ධනය මිල මුදල් තත්වය වර්ධනය කරගැනීමට අවස්තාව සහිත නමුත් හදිසි වියදම් පාඩු ඇතිවේ.එමෙන්ම පැවති රෝග කිහිපයකින් සහනය ලැබෙනා නමුත් නව රෝග අසනීපයන්ට ලක්වේ.අදෘශ්‍යමාන දෝශයන්ට හසුවේ.ඊර්ෂ්‍යාවට වෛරයට ඇස්වහ කටවහ දෝශයන්ට ලක්වීමට සිදුවේ.ඇසේ පෙනීමේ දුර්වලතා මෙන්ම පාදයේ ආබාධයන් වාතාබාධයන් ඇතිකරවයි.උදරගත රෝග පිලිබදව සැලකිලිමත්විය යුතුවේ.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්නට රාහුගේ පැමිණීමත් ලග්නයෙන් එකොලොස්වැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.ධනයද බලයද වර්ධනය කරගැනීමට අවස්තාව හිමිවේ.නව කටයුතු ආරම්බයට අවස්තාව සැලසේ.අකරගෙන ආ කටයුතු තුලින් ලාබත් දියුණුවත් අපේක්ෂාකල හැකි කාලයකි.දේපල මිලදී ගැනීමට , දේපල සම්බන්ධව පැවති ගැටලු නිරවුල් කරගැනීමට අවස්තාව සැලසෙනවා ඇත.යාන වාහන මිලදී ගැනීමට හැකියාව පවතී.එමෙන්ම විවාහයට අවස්තා මෙන්ම පවුලට නව සාමාජිකයන් එක්වීමේ අවස්තා පවතී.විදෙස්ගත වන්නේ නම් ඒ සදහා සුදුසු කාලයකි.දේශපාලකයන්ට තම බලය වර්ධනය කරගැනීමට අවස්තාව සැලසෙනවා ඇත.රැකියාවේ වෙනසක් සමග දියුණුව යහපත ඇතිවේ.මෙතෙක් ඇසුරුකල පිරිසෙන් වෙන්ව නව සමාජ ඇසුරක් ලබනවා ඇත.හිතමිත්‍ර ලාබ ලැබේ.බොහෝ සබදතා ඇතිවේ.ප්‍රේම සබදතා සදහා අවස්තාව සහිතයි.කෙසේ වෙතත් ඇතිවන සබදතා හේතුවෙන් අවසාන වශයෙන් පාඩු අලාබ නින්ද අපහාස අගෞරවයට පත්වීම් සිදුවිය හැකිය.දුර බැහැර ගමන් සංචාරක අවස්තා යෙදේ.නව විශයන් ඉගෙනීමට අවස්තාව සැලසේ.තමා උගත් දෙයින් නියම ප්‍රයෝජන ලැබීමට යහපත් කාලයකි.නාමය ප්‍රසිද්ධවේ.දරුවන්ට යහපත් නැත.ගැබිණි මව්වරුන්ට යහපත් නැත.උදරගත රෝග මතුකරයි.

මීන ලග්නය

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් සිව්වැන්නට රාහුගේ පැමිණීමත් ලග්නයෙන් දසවැන්නට කේතුගේ පැමිණීමත් සිදුවේ.වෙනදාට වඩා වැඩි උත්සහයකින් කටයුතු කිරීමට සිදුවනවා ඇත.රැකියාවේ වගකීම් වැඩිවන නමුත් තමාගෙන් එම වගකීම් නිසි ආකාරයෙන් ඉටු නොවීම නිසා ප්‍රධානීන් සමග මතබේධයන්ට ලක්විය හැක.රැකියාවේ දුෂ්කරතාවයන් ඇතිවනවා ඇත.,ස්තාන මාරුවකට අවස්තාව සහිත කාලයකි.එමෙන්ම නිතර නිතර ගමන් බිමන් යෙදේ.නිශ්ඵල කටයුතු සිදුවේ.තමාගේ වටිනාකම් දේපල සම්බන්ධව ගැටලු ඇතිකරයි.රැවටීමකට මුලාවීමකට හේතු පවතී.විදෙස්ගතවීමට සුබදායක කාලයයි.නිවසින් භාහිරව වැඩි කාලයක් ගතවේ.සිතේ සැකය දෙගිඩියාව ඇතිවේ.නමුත් සැබෑ තත්වය අවබෝධකරගැනීමට අපහසු කාලයකි.හදුනාගැනීම අවබෝධය නොමැතිවී නොසිතූ ගැටලු වලට ලක්වීමට සිදුවනු ඇත.ගුණ ධර්ම අඩුවේ.පවුලේ සාමයට සමගියට භාජනයවේ.සතුරන් නිකරුනේ ඇතිකරගනි.බිරිද සහකරු සම්බන්ධවද යහපත් නැත.මවට පියාට දෙදෙනාටම අයහපත් කාලයක් වනු ඇත.වැඩිහිටි මතයට ගරු නොකරනවා ඇත.එම නිසා වැඩිහිටියන් සමග අර්බුධ මතබේධ ඇතිකරගන්නවා ඇත.

ජනක පී කුමාර
හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්