මොකක්‌ද මේ කලියුගය ?


පරිණාමවාදය (Law of evolution) නවීන විද්‍යාව ඉගෙන ගන්නා නූතන පරම්පරාව මහ ඉහළින් පිළිගන්නා මතයකි. චාල්ස්‌ ඩාවින් නම් විද්‍යාඥයා විසින් ලොවට ඉදිරිපත් කළ මෙම මතය අනුව කල්ගත වන විට මුල් සත්ත්වයන්ට මුළුමනින්ම වෙනස්‌ සත්ත්ව විශේෂයක්‌ පහළ වන බව කියවේ. 

මේ අනුව වත්මන් මිනිසා යනු අතීත වානරයාය. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පරපුරෙන් පරපුරට පරිණාමය වීමේ ප්‍රතිඵලයකි. පරිණාමය ගැන ඉගැන්වෙන සත්ත්ව විද්‍යා පොත්පත්වල වානරයා මිනිසා බවට පත් වූ හැටි දක්‌වන රූප සටහන්ද තිබේ. මේ පරිණාමවාදය ගැන පොත්පත් ඕනෑ තරම් තිබෙන බැවින් ඒ පිළිබඳව දීර්ඝ විස්‌තර ලිවීම අවශ්‍ය නොවේ. 

කෙසේ නමුදු පරිණාමවාදය බටහිර ඉගැන්වීමකි. බටහිරින් ආ සෑම ඉගැන්වීමක්‌ම තර්ක කිරීමකින් තොරව පිළිගැනීම බොහෝ දෙනාගේ සිරිතයි. එය යටත් විජිතවාදීන් ලෙස බොහෝ කලක්‌ සිටින විට ඇතිවූ මානසික පරිණාමයක්‌ද විය හැකිය. 

එහෙත් පෙරදිග පැරැණි ඉගැන්වීම්වලද ආගමික සිද්ධාන්තවල හා විශේෂයෙන් ජ්‍යෙතිෂ අනුව බලන විටද ඩාවින්ගේ පරිණාමවාදය හුදු මිථ්‍යාවක්‌ බව පිළිගැනීමට සිදු වේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර ගණනාවකින්ද ඉන්දියාවේ තන්ත්‍ර ග්‍රන්ථ අනුවද කිව හැක්‌කේ වඳුරා වැනි තිරිසන් තත්ත්වයක සිට පරිණාමය වී දියුණු මිනිසා දක්‌වා විකාශනය වූ බව නොවේ. ඉතා උසස්‌ තත්ත්වයක සිටි දියුණු මිනිසා වානර තත්ත්වය හෙවත් තිරිසන් තත්ත්වයට පිරිහෙමින් පවතින බවකි. 

චාල්ස්‌ ඩාවින්ගේ පරිණාමවාදය සැබෑ නම් බුද්ධ ධර්මයද ඝෘෂිවරුන් විසින් අනාවරණය කරන ලද තන්ත්‍ර ග්‍රන්ථවල සඳහන් ඉගැනවීම්ද මිථ්‍යාවක්‌ විය යුතුය. මේ කරුණ දෙස ශාස්‌ත්‍රීය විවරණයක්‌ කිරීම කාලෝචිත බව හැඟේ. 

බුදුන් වදාළ ධර්මයේ දීඝ නිකායට අයත් අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මුල්ම කාලයේ මේ ලෝකය පැවති ආකාරය සඳහන් වන්නේ මෙසේය. 

එසමයෙහි අද පවතින ලෝකය හුදු දිය කඳකි. සියලු තැන හුදු අඳුර පැවතිනි. සඳ, හිරු, නැකැත් තරු නොතිබිණි. රෑ, දවල්, මාස, Rතු වශයෙන් නොතිබිණි. 

අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මේ සමයෙහි කිසිදු සත්ත්වයෙක්‌ මෙහි වාසය කළේ නැත. මුලින්ම පැමිණියේ නම් ආභස්‌සර නම් බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි දේව කොටසකි. ඒ ධ්‍යාන බලයෙන් ප්‍රීතියම ආහාර කොටගත් තමන්ගේම ශරීරයෙන් විහිදෙන ආලෝකයෙන් අහසේa සැරිසැරූ අයයි. ඔවුන්ට ස්‌ත්‍රී පුරුෂ භේදයක්‌ද නොතිබිණි. මේ කාලයෙන් පසුව ක්‍රම ක්‍රමයෙන් තෘෂ්ණාව වැඩී ගිය ආකාරයද ස්‌ත්‍රී පුරුෂ ඇති වූ අයුරුද ශරීරයේ ආලෝකය නැතිව යැම හා කලකට පසුව හිරු, සඳු, තාරකා උදා වූ ආකාරයද එම සූත්‍රයේ සඳහන් වේ. 

මෙම සූත්‍රයට අනුව මිනිස්‌ බවට පැමිණෙන්නේ ධ්‍යාන බලය ඉතා උසස්‌ තත්ත්වයකට පත්ව සිටි බ්‍රහ්ම නම් වූ ඉතා උසස්‌ සත්ත්ව කොටසකි. ඇමීබා වැනි ඒක සෛලික ජීවියෙකු ක්‍රම ක්‍රමයෙන් පරිණාමය වී වර්ධනය වී නූතන සත්ත්ව පරපුර ඇති වූ බව මේ අනුව ප්‍රතික්‌ෂේප කිරීමට සිදු වේ. 

තන්ත්‍ර ශාස්‌ත්‍රය අනුව මානව ඉතිහාසය මහා යුග හතරකට බෙදා තිබේ. ඒ ඒ යුගවල සිටි මිනිසුන්ගේ තත්ත්වයද එම විස්‌තර වලම සඳහන් වේ. කෘත යුගය, ත්‍රෙතා යුගය, ද්වාපර යුගය, කලි යුගය යනු මේ යුග හතරයි. අපි දැන් ගත කරන්නේ මුල් යුග තුනම ගෙවා උදා වූ කලි යුගයේයි. 

කෘත යුගය

කෘත යුගය සූර්ය වර්ෂ දාහත් ලක්‌ෂ විසි අට දහසක්‌ බව කියෑවේ. වෙසක්‌ මස පුර තියවක ලත් රවි දින ආරම්භ වූ බව කියෑවෙන නිසා එකලද හිරු හා සඳු පැවති බව පෙනේ. එම කාලයේ මනුෂ්‍ය ශරීරයේ උස රියන් විසි එකක්‌ බවත්, පරමායුෂ අවුරුදු ලක්‌ෂයක්‌ බවත් සඳහන් වේ. එම කාලයේ කිසිවෙක්‌ අධර්මයේ හැසිරුණේ නැති අතර අනුන්ට හිංසා කිරීමෙන් තොර, පරෝපකාරයේ ඇලුනු බවද කියා තිබේ. 

මෙවැනි කාලයක්‌ තිබූ බව බුද්ධ ධර්මයේද සඳහන් වේ. දීඝ නිකායේ මහා ප්‍රදාන සූත්‍රයට අනුව විපස්‌සී නම් බුදුරජාණන් වහන්සේ බුදු වූයේ දැනට කල්ප අනූ එකකට (91) පෙර බවත්, විපස්‌සී බුදුරජාණන් වහන්සේගේ ආයුෂ, වර්ෂ අසූ දහසක්‌ බවත් සඳහන් වේ. 

වර්ෂ දාහත් ලක්‌ෂ විසි අට දහසක්‌ තිබූ කෘත යුගය දැනට අවසන් වී බොහෝ කාලයක්‌ ගත වී ඇත. ඉන් පසුව උදා වූයේ ත්‍රෙතා නම් යුගයයි. ත්‍රෙතා යුගය වන විට මිනිසුන්ගේ ධර්මානුකූල බව හතරෙන් එකක්‌ අඩු වී තිබේ. 

ත්‍රෙතා යුගය

ඉල් මස පුර නවවක තිථිය ලත් සඳුඳා දිනෙක ත්‍රෙතා යුගය ආරම්භ විය. එහි කාලය වර්ෂ දොළොස්‌ ලක්‌ෂ අනූහය දහසකි. මෙම යුගය ආරම්භයේදී Rෂිවරුන් විසින් ග්‍රහ තාරකාවන්ගේ ස්‌ථාන හා ගමන් පිළිබඳව අවබෝධ කරගත්හ. ඔවුහු වයස වර්ෂ 85000 වූ බවද කිසිදු රෝගයක්‌ නොවූ බවද සඳහන් වේ. සියලු කාන්තාවෝ පතිවෘතා ගුණයෙන් යුක්‌ත බවද කියෑවේ.

විපස්‌සි බුදු හිමියන්ගේ වයස වර්ෂ 80,000 ක්‌ වූ අතර සි‚ බුදු රජුන්ගේ වයස අවුරුදු 70,000 ක්‌ වූ බවද, වෙස්‌සභූ බුදු හිමියන් වර්ෂ 60,000 වූ බවද, මහා පදාන සූත්‍රයේ සඳහන් වෙයි. ඒ බුදුරජාණන් වහන්සේළා මේ යුගයේදී පහළ වන්නට ඇතැයි සිතාගත හැකිය.

ද්වාපර යුගය 

ද්වාපර යනු ධර්මානුකූල බව භාගයක්‌ හෙවත් සියයට පනහක්‌ පහළට බැස ගිය කාලයයි. වර්ෂ අටලක්‌ෂ හැටහතරදාහක්‌ ද්වාපර යුගය පැවතී තිබේ. එකල පරමායුෂ වර්ෂ දහසකට අඩුවී ඇති අතර මිනිසෙකුගේ සාමාන්‍ය උස රියන් 7 දක්‌වා අඩුවී තිබේ. නිදිමත, අලස ගතිය, බොරුකීම, අනුන්ට හිංසා කිරීමද, තණ්‌හාවද මේ කාලයේ තවදුරටත් වර්ධනය වෙමින් පැවතිණි. ද්වාපර යුගය වර්ෂ 864,000 ක්‌ ගතවූ පසුව අප දැනට ගතකරන කලියුගය උදාවි තිබේ.

කලියුගය

කලියුගය එළැඹෙන්නේ මිනිසුන්ගේ ධාර්මික බව හතරෙන් තුනක්‌ම අඩුවී ධර්මානුකූල බව සියයට විසිපහක්‌ දක්‌වා පහළ බැසගිය පසුවය. මෙය වර්ෂ හාරලක්‌ෂ තිස්‌ දෙදහසකි. (432,000) රියන් 21 ක්‌ උසට කෘත යුගයේදී තිබූ මිනිස්‌ උස රියන් තුනහමාරක්‌ දක්‌වා අඩුවීමද පරමායුෂ අවුරුදු 108 වීමද මේ කාලයේදී සිදු වේ යෑයි තන්ත්‍රවල සඳහන් වේ. නොම`ග යැම, භය, දුක්‌, අලස බව, නින්දෙහි ඇල්ම, රැවටීම, කාමයෙහි අධික වශයෙන් ඇල්ම, විවිධ රෝග, වසංගත මේ කලියුගයේදී ඇති වේ. මේ කාලයේදී උත්තමයෝ නීච බවට පැමිණෙන බවත්, කල්යත්ම කිසිදු යහපත් ප්‍රතිපත්තියක්‌ ඉතිරි නොවන බවත් කියා තිබේ.

ක්‍රිස්‌තු වර්ෂ 2014 වන විට කලියුගය වර්ෂ 5114 ක්‌ ගතවී ඇත. තවත් වර්ෂ 426886 ක්‌ ඉදිරියට කලියුගය පවතින අතර අනාගතයේ තව තවත් ධර්මයෙන් පිරිහීම දක්‌නට ලැබෙනු ඇත. එවිට මිනිසුන් ආයුෂයෙන් ද ශරීර ශක්‌තියෙන්ද උස මහතින්ද පිරිහී යනු ඇත.

මනුෂ්‍ය ආයුෂ වර්ෂ 10 දක්‌වා අඩුවන බවත්, එයින් පසුව බොහෝ විනාශ වන බවත්, නැවත ආයුෂ වර්ෂ 80,000 දක්‌වා ඉහළ යන බවත්, එකල මතු බුදුවන මෛත්‍රී බුදුරජුන් පහළ වන බවත් ධර්මයේ සඳහන් වේ. මේ තත්ත්වය ඉහත කලියුගය නිමවන කාලය බවත් නව කෘත යුගයක ආරම්භය බවත් පෙනේ.

ලෝකයේ ආරම්භය හා විකාශනය පිළිබඳව මෙම ධර්ම දේශන සහ තන්ත්‍ර ග්‍රන්ථවල සඳහන් කරුණුවලින් පෙනී යන්නේ පැරැණි මිනිසා අද මිනිසාට වඩා දියුණු බව නොවේද? ආයුෂයෙන්ද, වර්ණයෙන්ද, සැපයෙන් ද, බලයෙන්ද ප්‍රඥාවෙන්ද ඉතා උසස්‌ තත්ත්වයක සිටි මිනිසා ක්‍රම ක්‍රමයෙන් මේ සෑම අංශයකින්ම පරිහානියට පත්වෙමින් සිටී.

මේ අනුව වානරයෙකු ක්‍රම ක්‍රමයෙන් දියුණු වී නූතන මානවයා බිහිවූ බව කියෑවෙන ඩාවින්ගේ පරිණාමවාදය පිළිගත හැකි නොවේ. එය විමසිය යුත්තකි.

මහා යුග පිළිබඳව තන්ත්‍ර පොත්වල සඳහන් කරුණුත්, බුද්ධ ධර්මයේ එන සූත්‍ර ධර්මවල අඩංගු කරුණුත් අනුව පෙනී යන්නේ ධාර්මික බව අතුරුදන් වෙමින් මිනිසා පිරිහෙමින් සිටින බව නොවේද? ඩාවින්ගේ පරිණාම වාදය මේ සත්‍යය යටපත් කර මානව වර්ගයා දියුණු වෙමින් සිටින්නේය යන මිථ්‍යාව ඉස්‌මතු කරයි.

ප්‍රඥාවන්තයෝ මෝහාන්ධකාරය දුරුකරත්වා....·
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
www.divaina.com