කැඩුණු ඇට උණුකර යළි සවිකරන ගුණසේන වෙදැදුරු

ගංසූරිය පොතු කසායෙන් බෙහෙත් කුඩු අටට බෙදා පංගුවක්‌ ගෙන මී පැණි දමා උදේ හවස බොන්න. ඒ හැම වෙලාවකම උණුවතුර පාවිච්චි කරන්න."මේකට අමතරව අළුකෙසෙල් මුව, මුරුංගා, මුකුනුවැන්න, මඩු කරවල බැදපු ලුණු දමා දිය කිරෙන් තම්බල කන්න.

පාවට්‌ට මුල්, එළබටු මුල්, කටුවැල්බටු, කුප්පමේනිය, ඔළිඳ දළු, වැල් මී, ඉඟුරු, සුදුළුEනු, කොත්තමල්ලි, තිප්පිලි කසාය කර සීනි හා එළඟි තෙල් දමා උදේ සවස බොන්න.

මේ සේරම කරන අතරෙ මෝරපු බුලත් දෙවිටක්‌ පමණ ගෙන කෝමාරිකා යුෂ ප්‍රමාණයට තල තෙල් දමා අව්වේ තබා කකාරා උදේ වරුවේ සති දෙකක්‌ පමණ හිස මත තබන්න.

මේ ප්‍රතිකාර නොකඩවා පිළිවෙළට කළොත් ඔබේ ඔය හිසේ අමාරුවත්, ඇස්‌ පෙනීමේ දුබලතාවත් තුන්වැනි සතිය වෙනකොට ඇරිල යාවි"

ඉවසා දරා ගැනීමට නොහැකි තරම් හිසේ වේදනාවකට පත්ව සිටි රෝගියකුට ප්‍රතිකාරයක්‌ නියම කරමින් වෙදැදුරු කසායක්‌ හා හිස ගැල්වීමක්‌ ලියා දුන්නේය.

"දැං කියවන්න බලන්න මේ බෙහෙත් වට්‌ටෝරුව"

"කෝ.... කියවනවයෑ ඔය මුමුණනවනේ.." ලැඡ්ජා නැතිව මට ඇහෙන්න ඔය කසාය වට්‌ටෝරුව කියවනව."

"වෙදැදුරු යළිත් වරක්‌ රෝගියාට කීවේය. එහෙත් රෝගියාගේ මුවින් නම් වචන පිටට ආවේ නැත.

"ඕන් ඕක තමයි අද අපේ අයට වෙලා තියෙන්නේ. ගමේ වෙද මහත්තය තමන්ගෙ ලෙඩේට හරියට බෙහෙතක්‌ කියල දුන්නාම ඒක කියෝගන්නත් බැහැ. අනික තමන්ගෙ වත්තෙ තියෙන බෙහෙත් පැළෑටියක්‌ හඳුනන්නෙත් නැහැ. හරිම කනගාටුවක්‌.

ශත වර්ෂ ගණනාවක්‌ ඈතට විහිදී යන වෙද පරම්පරාවකට නෑකම් කියන වන්නිනායක පුංචිරාළලාගේ ගුණසේන වෙදැදුරු අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මීගස්‌සාගම පදිංචි ජීවමාන සෘෂිවරයෙකි.

සර්වාංග රෝග පිළිබඳ ප්‍රතිකාර කළත් කැඩුම් බිඳුම් පිළිබඳ විශේෂ බවක්‌ දක්‌වන ගුණසේන වෙදැදුරුගේ ප්‍රතිකාර තුළින් එලොව යන්නට සිටි බොහෝ පිරිසක්‌ මෙලොව රැඳී අද දවසේත් සුවයෙන් ජීවත්වන අයුරු අසන්නට හා දැක ගන්නට අපට ලැබුණි.

බටහිර වෛද්‍යවරු මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක්‌ වන්නේ කැඩුණු බිඳුණු තැන්වල ඇතිවන තුවාලවලට විෂබීජ ඇතුළුවීම වළක්‌වා ගන්නේ කෙසේද යන ගැටලුවටය. එහෙත් ගුණසේන වෙදැදුරුගේ ප්‍රතිකාරවලදී එවැනි ප්‍රශ්නයක්‌ පැන නගින්නේ නැත. මෙපමණ කාලයකට ඔහුගෙන් ප්‍රතිකාර ගත් කිසිම රෝගියකුට බැක්‌ටීරියා ආසාදන හෝ විෂබීජ ඇතුළුවීමක්‌ සිදු වී නොමැත.

බටහිර වෛද්‍යවරුන්ට ඇතිවන තවත් ගැටලුවකි කැඩුන ඇටකැබලි නැවත නිසි ලෙස තැන්පත් කිරීම. ඒ සඳහා ශල්‍යකර්ම සිදු කළ යුතු වුවත් ගුණසේන වෙදැදුරුට එවැනි ප්‍රශ්නයක්‌ පැන නඟින්නේ නැත.

තුවාලයට අත තබා සිය මිනුම් දඬු අනුව නිසියාකාරව තැන්පත් කරන ඇට කටු ඇසට නොපෙනුනත් අන්තිම තිත දක්‌වා නිවැරැදි බවට පත් වන්නේ යන්ත්‍රානුසාරයෙන් කළාක්‌ මෙනි.

තවත් ගැටලුවකට බටහිර වෛද්‍යවරුන්ට මුහුණ පෑමට සිදුවන බව වැළැක්‌විය නොහැක. ඒ නිසි ලෙස තැන්පත් කළ ඇටකටු පෑස්‌සීමය. ඔවුන්ට ඒ සඳහා විකල්පයක්‌ නැත. ඇත්තේ එකම ක්‍රමයකි. ඒ සකස්‌ කරගත් ඇට එකතු කර යකඩ පතුරු තබා ඇණ ගැසීමයි. නමුත් එය සවිවීම හෝ නොවීම වයස අනුව තීරණය වන නමුත් ඖෂධයක්‌ නම් නැත.

ගුණසේන වෙදැදුරුගේ විශ්මිත ප්‍රතිකර්මයෙහි හාස්‌කම් මතුවන්නේ මෙවැනි අවස්‌ථාවලදීය. ඔහු මුලින්ම ඇට බිඳී ගිය රෝaගියකුට ඖෂධීය ගුණයෙන් පිරි පත්තුවක්‌ බඳී. එහි සියයට සියයක්‌ ම ඇත්තේ දේශීය ශාක සාර වන අතර එය බැඳ තබන උපරිම කාල සීමාව විනාඩි 20 ක්‌ පමණය.

මේ කාලය තුළ රෝගියාට තරමක පිළිස්‌සුම් වේදනාවක්‌ දැනුනත් විනාඩි 20 ඉක්‌ම යැමෙන් පසු බිඳී ගිය ඇට උණු වී එකිනෙකට පෑස්‌සෙන්නේ විශ්මය දනවන පරිදිය.

මෙවැනි ඖෂධයක්‌ බටහිර වෛද්‍ය විද්‍යාවේ නැතිවාක්‌ මෙන්ම ඔවුන්ගේ අදහස්‌වලට අනුව මෙය මුසාවක්‌ විය හැක. එහෙත් මෙය සනාථ කිරීමට සාක්‍ෂි දස දහස්‌ ගණනක්‌ අපේ රට තුළ ඇත.

මෙවැනි අවස්‌ථාවක්‌ මට ද පසුගිය දිනක දැක ගැනීමට හැකි වූයේ ගුණසේන වෙද මැදුරේදී ය. විනාඩි කිහිපයක්‌ ඇතුළත සිදු වූ එම සිදුවීම මගේ කැමරාවෙහි සටහන් කර ගැනීමට තත්පරයකුදු මා පසුබට නොවූවෙමි.

එදින පාපැදියකින් වැටුනු එම කාන්තාවගේ එක්‌ අතක්‌ කැඩී ගුණසේන වෙදැදුරු අසලට ගෙන ආවේ ඊට පෙර තවත් කෙනකුගෙන් ප්‍රතිකාර ගෙන සුව වී නොතිබුණු හෙයිනි. ඒ වන විටත් රෙදි කඩකින් ගැටගසා තිබූ අත ගෙල ප්‍රදේශයෙහි එල්ලා තිබිණි.

"ගලෝනව ඔය බෙල්ලෙ එල්ලගෙන තියෙන රෙදි කෑල්ලෙන් අත"

වෙදැදුරු කාන්තාව සමඟÊපැමිණි සැමියාට විධානයක්‌ කළේය.

සැමියා එකින් එක රෙදි කැබලි ගලවනවාත් සමඟ ඇය කෑ ගසන්නට පටන් ගත්තාය. එහෙත් ගුණසේන වෙදැදුරු ඉතා පරීක්‍ෂාව බලා සිටියේය.

"කවුද වෙදකම් කළේ"

"අහවල් ගමේ වෙද මහත්තය"

ලිහා දැමූ රෙදි කැබලිවලින් නිරාවරණය වූ අත රත් පැහැ ගැන්ව ඉදිමී තිබිණි. එහෙත් ගුණසේන වෙදදුරු කිසිවක්‌ නොකියා බිඳී ගිය හා නැවිය නොහැකිව ගල්වී තිබුණ වැලමිටෙහි තෙල් ගල්වා කිහිපවරක්‌ පිරිමැද්දේය.

"අත දිගඅරිනව දැන්"

"අනේ වෙද මහත්තයෝ මේ අත මෙතනින් කැඩිල වගේ දිගාරින්න බෑ."

තවත් තෙල් ස්‌වල්පයක්‌ ගැල්වූ වෙදැදුරු මහපට ඇඟිල්ලත්, වෙද ඇඟිල්ලත් ආධාරයෙන් කාන්තාවගේ වැළමිට තෙරපනවාත් සමඟÊකාන්තාව වේදනාවෙන් ඇඹරුණේය.

"දැං දිගාරිනව අත"

ගුණසේන වෙදැදුරුගේ ඊළඟ විධානය විය. මෙපමණ වේලාවක්‌ දිග හැරිය නොහැකිව ගෙලෙහි එල්ලා ගෙන තිබූ අත කිසිම අපහසුවකින් තොරව ක්‍රියා කරන්නට විය. ඉන් පසු ඇය සැමියාගෙන් ලබා ගත් බුලත් අත වෙදැදුරු අත තබා වැඳ වැටෙනවා දැක ගන්නට ලැබිණි.

මගේ කැමරාවෙහි සටහන් වුණු මේ සිදුවීම මටම අදහාගත නොහැකිව මම ඒ ගැන වෙදැදුරුගෙන් ප්‍රශ්න කළෙමි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ වගේ හාස්‌කම් පෙන්වන ඖෂධ දුර්ලබ බවක්‌ තමයි මම අහල තියෙන්නේ. ඒත් මගේ ඇස්‌ දෙකෙන්ම මම දැක්‌ක ඒ කාන්තාවගේ කැඩුන අත සුළු වේලාවකදී සුවය ලබනවා. මොකක්‌ද මේකෙ තියෙන රහස.

බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා මම කියන්න දන්නෙ දේශීය වෙදකම ගැන. අපේ හෙළ වෙදකමට අනුව නම් මේව සිංහල ඖෂධවලම තියෙන හාස්‌කම් තමයි. විශේෂයෙන් අපේ පරපුරේ තිබෙන තෙල් වර්ග මේවගේ ප්‍රතිකාරවලට විශේෂයෙන් සාර්ථකයි.

විමලසිරි අගලකඩ

No comments:

Post a Comment