නීරෝගී දරු උපතක් අපේක්ෂා කරන කාන්තාවක පිළිපැදිය යුතු කරුණු බොහෝ ය. එහෙත් එවැනි කාර්යයක නොයෙදීමෙන් උපදින දරුවාගේ නිරෝගී භාවය කෙසේ විය යුතු දැයි යන්න ගැටලු සහගතය.මෙසේ හෙයින් ගර්භනී කාන්තාවකට දෙන වෛද්‍ය උපදෙස් නිසියාකාරව පිළිපදින්නේ නම් උපදින දරුවා ද නීරෝගී දරුවකු නොවීමට කිසිසේත් ම ඉඩ නැත.
පෙර කුසලාකුසල කර්මයෝ ද මීට බලනොපානවයි අපට කිව නොහැක. බටහිර වෛද්‍ය විද්‍යාවේදී මොනවා කීවත් දේශීය වෙදකමේදී නම් පෙර කුසලාකුසල කර්මයන් තදින්ම බලපාන බවක් කියවෙන්නේය.
මේ කරුණු මෙසේ තිබියදී වත්මන් සමාජය දෙස විපරමින් බලන විට ආබාධිත දරුවන්ගේ උපත් සංඛ්‍යාව වැඩි අගයක් ගන්නා බව පැහැදිලිය. එය වඩාත් තහවුරු වන්නේ ළමා සායනවල ප්‍රතිකාර ලබන දරු සිඟිත්තන් දෙස බැලීමෙන් ය. එහෙත් මෙවැනි දරුවන්ට දේශීය වෙදකමෙන් සුවයක් ලබා දෙන හෙළ වෙද පරම්පරාවක වෙද හාමිනේ කෙනකු මුණගැසීමට පසුගිය දිනෙක මම ගියේ එවැනි දරුවන්ට යහපතක් වේය යන පහන් සිතුවිලි මුල්කර ගෙනය.
මා එහි යන විටත් දරුවන්a රැසක් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිටි හෙයින් එම වෙද හාමිනේගේ ප්‍රතිකාරයන්ගේ ස්වභාවය අමුතුවෙන් තහවුරු කර ගැනීමක් අවශ්‍ය නොවනවා යෑයි මට සිතිනි.
වසර සිය ගණනක් ඈතට විහිදී ගිය විඡේසුන්දර වෙද පරම්පරාවේ ආදිතමයෝ බොහෝ ය. ඔවුන් හෙළ වෙදකමට අති දක්ෂයෝ වූ අතර ඔවුන්ගෙන් පැවත එන වත්මන් පුරුක පියසේකර විඡේසුන්දර වෙදැදුරු ය.
කිවුල්ගල්ල නාරම්මල යෝගරත්න ඖෂධාලයාධිපති ජයසේකර වෙදැදුරු සර්වාංග රෝගවලට ප්‍රතිකාර කළත් විශේෂ බවක් දැක්වූයේ මන්ද බුද්ධික හා අඳ, ගොළු බිහිරි දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ය. දැනට වසර ගණනකට පෙර අභාවප්‍රාප්ත වූ මෙම හෙළ වෙදැදුරුගේ සේවය නාරම්මලට පමණක් සීමා නොවී කුලියාපිටිය, මැල්සිරිපුර, මාකොල. මීරිගම, දේවාලේගම අනුරාධපුරය හා නොච්චියාගම යන ප්‍රදේශවල ද පැතිරී තිබූ බවක් පෙනෙන්නට තිබිණි.
එහෙත් පියසේකර විඡේසුන්දර වෙදැදුරු මිය යැමෙන් පසු පාරම්පරික වෙදකමට අංශුවකින් හෝ හානියක් නොවන්නට එහි වගකීම බාරගෙන ඇත්තේ ඔහුගේ බිරිඳ ඊඩිත් විඡේසුන්දර වෙද හාමිනේ ය. මම ඇය හා සාකච්ඡාවක නිරත වෙමින් මෙහි ඇති විශේෂත්වය ගැන තොරතුරු විමසීමි.
"කියන්න තරම් විශේෂ හේතුවක් නැති වුණත් දරුවො කියන්නෙ මේ රටට සම්පතක්නෙ. දෙමවුපියන්ට වස්තුවක්."
නාරම්මල යෝගරතන ඖෂධාලයට අප යන විට තරමක් හවස් වී තිබිණි. ඒ වන විටත් දරුවන් දහඅටදෙනකු ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් තිබුණත් තවත් දරුවන් දෙතුන්දෙනකු ඉතිරිව සිටිනවා අපට පෙනිණ.
"මේ වෙදකමට ප්‍රසිද්ධ ඔබගේ මහත්තයා. එතකොට ඔබත් වෙදකම හැදැරුවද?"
"මගේ මහත්තයගෙන් තමයි මම වෙදකම ඉගෙන ගත්තේ. එයා හැම තිස්සෙම කිව්වෙත් අසරණ දරුවන්ට ප්‍රතිකාර කිරීමෙන් දෙලොවට යහපතක් කරගන්න පුළුවන්ය කියල. ඒක නිසා වෙද මහත්තය ඉතාමත් ඕනකමින් මට වෙදකම ඉගැන්නුවා. ඒත් ප්‍රතිකාර කරන්න පටන් ගත්තෙ එයා නැති වුණාට පස්සේ."
"දැන් මම සර්වාංග වලට වඩා අඳ, ගොළු, බිහිරි වගේම මන්ද බුද්ධික දරුවන්ට ප්‍රතිකාර කරන්න මුල්තැන දුන්නා."
"මේ වගේ දරුවන් බිහිවෙන්න හේතුව කිව්වොත්."
"මේ තත්ත්වය ඇතිවෙන්න එක කාරණයක් නොවෙයි ගොඩක් කරුණු බලපානවා. ප්‍රධාන වශයෙන්ම ඥාති විවාහය, ජාන විකෘතිතා හා සමාන ලේ වර්ග, මානසික ආතතිය වගේම ගර්භනී කාලෙදි ක්‍රෝධය, වෛරය, ඉරිසියාව පවුලේ අඬදබර ඇතිවීම වගේ දේවල් ප්‍රධානයි. අනික විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තමයි පෙර කුසලාකුසල කර්ම."
"ඇතැම් ගර්භනී කාන්තාවන් හැසිරෙන්නේ තමන්ගෙ කුසේ ඉන්න දරුවා ගැන නිසි හැඟීමක් නැතිව. මේ තත්ත්වයට ස්වාමිපුරුෂයාත් වගකියන්න ඕන. මොකද තමන්ගෙ බිරිඳ සන්තෝෂයෙන් හෝ අසන්තෝෂයෙන් තියාගන්න පුළුවන්කම තියෙන්නෙ ස්වාමිපුරුෂයාට.
"සාමාන්‍යයෙන් මේ වගේ කරුණු අපි පැහැදිලි නොකළාට ඕන තරම් සමාජයෙන් වගේම මාධ්‍යයෙන් අහන්න දකින්න ලැබෙනවා. නමුත් ඒ උපදෙස් කීයෙන් කීදෙනාද පිළිපදින්නෙ. ඉතිං ඒව නොපිළිපැදීමෙන් වෙන්නෙ මේ වගේ දරුවන් බිහිවන එක. මම නම් හැම තිස්සෙම කියන්නෙ තමන්ගෙ කුසට දරුවෙක් ආව කියලා දැන ගත්ත දවසෙ ඉඳල යහපත් කල්කිරියාවෙන් ඉඳගෙන පින්දහම් කරනව නම් නිරෝගී දරු සම්පතක් ලබා ගන්න එක ඉතාමත් පහසු කාරණයක්."
"මේ වගේ දරුවො මුල් කාලයෙදි කොහොමද හඳුනාගන්නෙ."
"ඇත්තෙන්ම මේ වගේ තත්ත්වයට පත්වන දරුවො ඉපදිලා මාස කිහිපයක් යනකොට හඳුනාගන්න පුළුවන්. විශේෂයෙන් අපට වඩා අම්මටයි වැඩියෙන් ඒක දැනෙන්නෙ. එතෙන්දී කළ යුතු එකම දෙය වහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන එක. එහෙම නොවුණොත් දරුවාගේ තත්ත්වය ශෝකජනක වෙන එක වළක්වන්න අපහසුයි."
"සිංහල ප්රතිකාරවලින් මේ වගේ තත්ත්වයන් වෙනස් කරන්න පුළුවන්ද?"
"එහෙම නොහැකියාවක් තියෙනවා නම් මේ වගේ ප්‍රතිකාර නොකර අපි මිනිස්සු රවට්ටන්නෙ නැතිව පැත්තකට වෙනවා. හත්මුතු පරම්පරාවක් වෙදකම් කරල ලබපු අත්දැකීම් වර්තමානය දක්වා ඇවිත් තියෙනවා. එහෙම නොවුණා නම් මේ වෙදකම එතනින්ම අවසන් වෙනවනේ."
"මගේ මහත්තයා මෙවැනි දරුවන් දහස් ගණනකට ප්‍රතිකාර කරල සුවය ලබල තියන එක මම විස්තර කරන්න ඕන කාරණයක් නොවෙයි. මමත් දැනට දරුවන් සිය ගණනකට ප්‍රතිකාර කරල නිරෝගී සුවය ලබල තියෙනවා."
"මෙවැනි දරුවන්ගෙ ආබාධ තත්ත්වය ඔබ කොච්චර දුරට සුව කරල දෙනවද?
"ඇත්තෙන්ම 80% ක් පමණ සුව කරල දෙනවා. බලන්න මේ දේවරාජ තෛලය, ඒ වගේම මේ දුහුදු තෛලය. මේ දෙකම අපි පාවිච්චි කරන්නේ මන්දබුද්ධික දරුවන්ට වගේම ගොළු දරුවන්ගේ රෝග තත්ත්වයට."
"නිරෝගී දරුවෙකුට වඩා රෝගී දරුවෙක් මට සම්පතක්. මෙවැනි දරුවෝ ඇතැම් දෙමාපියන්ට බරක් උනත් අපට එහෙම නෑ. මගේ මුළු ජීවිත කාලයම ඒ කියන්නේ අවසන් හුස්ම ටික වැටෙනකම් මම මේ දරුවන් සුපවත් කරන්න ඇප කැප වෙනවා."
" මම මෙතෙන්දී මුදල් අපේක්ෂා කරන්නෙ නැහැ. නමුත් තෙල් බෙහෙත් හැදීමේදී විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. බලන්න මේ දුහුදු තෛලය. මේකට කස්තුරි, ගෝරෝචන වගේම රත්තරං මිශ්‍ර කරලා තමයි හදන්නෙ. මෙතෙන්දි අපට දරන්න වෙන වියදම අධිකයි. ඒත් ඇති අය දෙන මුදල් වලින් නැති අයට නොමිලේ ප්‍රතිකාර කරනවා."
අව්‍යාජත්වයේ සංකේතයක් වන
විඡේසුන්දර වෙද හාමිනේ සිතට නැගුණ බොහෝ දේ අප හා ප්‍රකාශ කරද්දී අම්මා කෙනකු තම දරු සිඟිත්තා තුරුළු කරගෙන වැළපෙනවා අපට දක්නට ලැබිණි.
වෙද හාමිනේ සමඟ පැවැත්වූ සුහද කතාවට විරාමයක් තැබූ මා එම කාන්තාව හා දොඩමළු වූයේ මෙවැනි රෝගී දරුවන් සිටින දෙමාපියන්ට පණිවිඩයක් සැපයීමටය.
"මේ අම්මගෙ දරුවට මොකද්ද තිබෙන අබාධය." මම ප්‍රශ්නයක් අසමින් දරුවා දෙස බැලුවෙමි.
"මගේ දරුවට කතා කරන්න බැරුවයි හිටියේ."
"දැන් සුවයිද?"
"සෑහෙන ගුණයක් තියෙනවා."
"ඒ කියන්නේ කතා කරන්න පුළුවනි."
ඇත්තෙන්ම කතා කරන්න පුළුවනි. වෙද හාමිනේගෙන් මාස කිහිපයක් අපි ප්‍රතිකාර ගත්තා. දැන් හොඳටම ගුණයි.
මෙවැනි දරුවන් කිහිපදෙනකු වෙද ගෙදර තැනින් තැන සිටිනවා මට පෙණිනි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් බව අමුතුවෙන් හඳුනාගැනීමට මට අවශ්‍ය නොවීය.
මේ පිළිබඳව වඩාත් තහවුරුකර ගැනීම සඳහා මම සුවපත් වූ ගොළු දරුවකු සමඟ වචන කිහිපයක් කතා කළෙමි.
"දුවගෙ නම"
"අනෝමා"
"ඉස්කෝලෙ යනවද?"
"ඔව්"
විඡේසුන්දර වෙද හාමිනේගෙන් ප්‍රතිකාර ගත් ඒ දරුවාගේ මුල් අවධිය ඉතාමත් ශෝකජනකය. හේන් ගොවිතැනින් ජීවිකාව ගෙන යන ඔවුන්ට එතරම් මුදල් තිබුණේ නැත. එහෙත් තම දරු සිඟිත්තාව සුපවත් කර ගැනීමට මේ වෙද ගෙදරට පැමිණ ඇත්තේ අතේ සතේ පවා නැතිවය.
"අපි හේන් ගොවිතැනින් ජීවත් වෙන්නෙ. ඒත් දරුවා සනීප කර ගන්න ඕන නිසා මෙතෙන්ට ආවේ හරි බයකින්. මේ වෙද හාමිනේ අපේ බය තුරන් කරල මගේ දරුවා සනීප කරලා දුන්නෙ සල්ලි ගන්නෙ නැතිව. මේක ජාති ජාතිත් ඵල දෙන පින්කමක්."
මෙවැනි මවුවරු දෙතුන් දෙනකු හා දරුවන් කීපදෙනකු සමඟ කතා කිරීමෙන් ලබාගත් තොරතුරු බොහොමයක් විය.
තවත් මවක් කීවේ මන්දබුද්ධික තම දියණියගේ ස්වරූපය තරමක් වෙනස් නොවුණත්, ක්‍රියාකාරකම් සියල්ල සාමාන්‍ය නිරෝගී දරුවකුගේ තත්ත්වයට වර්ධනය වූ බවයි.
විමලසිරි අගලකඩ
0 Comments