වත්මන් සමාජය තම ශරීර සුඛ විහරණය උදෙසා ලොල්ව අධි සුඛෝපභෝගීව පංචෙන්ද්‍රයන් පිනවීමේ ආසාවෙන් ක්‍රියා කිරීමේ හේතුව මත විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වන බව පෙනේ. අපේ පිටිසර ජනතාව අතර එතරම් බහුලව රෝග වැළදෙන මගත් නොපෙනුනද නාගරික පරිසරය තුළ ජීවත්වන උදවියගෙන් බහුතරයක් රෝගීහු වෙති.
ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව හැම පුද්ගලයන් දස දෙනකුගෙන් එක් අයකුට මධුමේහය හා දියවැඩියාව රෝගය වැළඳෙන වගට අනාවරණය වෙයි. පවතින තත්ත්වය සැලකිය යුතු අන්දමින් අවම කරගත හැකි ක්‍රමවේදයන් ගැන සොයා නොබැලුවහොත් ඉදිරි පරම්පරාවද දියවැඩියාව - මධුමේහ යෙන් පෙළෙන්නන් බවට අටුවා ටීකා අනවශ්‍යය. මේ සඳහා අදාළ හැමගේ අවධානය යොමු විය යුතුමය.
මෙම රෝගයට නම් දෙකක් භාවිතාවේ. එනිසා රෝග අවස්‌ථා දෙකකින් විද්‍යාමාන වේ. මුත්‍රා වාර ගණන සහ නිතර නිතර වැඩියෙන් පිටවීම බහු මුත්‍රා රෝගය හෙවත් දියවැඩියාව ලෙස සැලකේ. මුත්‍රා සමග ශක්‌ති ජනක මධුර පදාර්ථ කොටස් පිටවීම "ඩයබටීස් - වෙලයටීස් යනුවෙන් හැඳින්වෙයි. මෙය මධුමේහය වේ. අග්න්‍යාසය දුර්වලවීම හේතුකොටගෙන එහි නිෂ්පාදනය වන ඉන්සියුලින් හෝමෝනය අඩුවීම නිසා ඇතිවන රෝග තත්ත්වයකි. අප ගන්නා ආහාරවල තිබෙන සීනි පදාර්ථ කොටස් නිසි ලෙස දහනය කර ග්ලුකෝජන් බවට පත්කරයි. ලේවලට උරාගැනීමට සලස්‌වයි. මේ ක්‍රියාවලිය සිදු වන්නේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය අනුවයි. මෙය දුර්වල වූ විට (අග්න්‍යාසය - ඉන්සියුලින් ග්‍රන්ථිය) අක්‍රීය තත්ත්වයට පත්වේ. පිටියුටරි ග්‍රන්ථිය නිපදවන "අන්ත්‍ර ශ්‍රාවය," මුත්‍රා පාලනය කරනු ලබයි. මෙම අවස්‌ථාව උදක මේහය නොහොත් දියවැඩියාවයි.
මෙම රෝග තත්ත්වයට ස්‌ථීර සුවය සඳහා ප්‍රතිකාර ගැනීමේදී ආහාර පාන සහ ව්‍යායාම් ගැනීම පිළිබඳ නිසි උපදෙස් හා ප්‍රතිකාර සඳහා සුදුසු වෛද්‍යවරයෙකු හමුවීම මැනවි.
දියවැඩියාව රෝගයට ආවේනික වූ විශේෂ ලක්‌ෂණ කීපයකි. ඒ අතර හෘදරෝග, රුධිර පීඩනය වැඩිවීම, ස්‌නායු දුබලතා, ඇස් පෙනීමේ දුර්වලතා, වකුගඩු ආබාධ, පිපාසය ඇතිවීම, වෙහෙස දැනීම, මලානික බව, අත්පා හිරිය, ශරීරයේ පවතින තුවාලවලට වෙදකම් කළත් සුව නොවීම වැනි කරුණු බලපාන අතර, විශේෂයෙන් විවාහ දිවියේදී දරුසම්පත් අහිමි වීමට තරම් බලපාන දුක්‌ඛදායක රෝගයක් ලෙසද නම් කළ හැකිය.
මීට දශක 05 ක 06 කට පෙර අපේ උදවිය මෙවැනි රෝගවලින් වැළකී සිටීම නිසා කායික මානසික අංශයෙන් උසස් වූ තත්ත්වයන් ලැබ සිටි බව පෙනේ. මේ හේතුව නිසා රටේ සංවර්ධනයට ඔවුන් දැක් වූ දායකත්වය පැරැණි වාරි ශිෂ්ඨාචාර, කෘෂිකර්ම අංශයන්ගෙන් අදටත් කරුණු හෙළිවෙයි.
ආයූර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව රෝගයට පිළියම් වශයෙන් ආහාර පාන ගැනීමේදී රෝග තත්ත්වය මර්දනය කර ගැනීමට පුළුවන. ආහාර පාලන රටවට ප්‍රමුඛත්වය දිය යුතුවේ. කෙඳි සහිත ආහාර වන මඩු දඩු, තම්පලා, කොහිල, නෙළුම් අල, හා ළපටි බෝංචි, කැරට් ආදිය වාෂ්පයෙන් තම්බා පිෂ්ටය අඩු ආහාර ගැනීම උචිතය. කිරි, එළුකිරි, එළකිරි, මුදවාපු කිරි ආදියද ගැනීම යෙහෙකි. රතුහාල් හෝ කුරැට්‌ට සහිත ධාන්‍ය වර්ගද, කුරක්‌කන්ද ආහාරයට ගැනීම යෝග්‍ය වේ. සමබර, සමබල ආහාර පද්ධතියක් අනුගමනය කළ යුත්තේය. පළතුරු වශයෙන් කටුලොවි, ගස්‌ලබු, මාදන්, හිඹුටු, නාරං, යනාදියද ගුණ දායකයි.
ව්‍යායාම් වශයෙන් උදෙන්ම පිබිදීම සිදුවිය යුත්තේය. පැයක් පමණ භාවනාවේ යෙදීම උචිතය. පැයක් හෝ පැය බාගයක් පමණ තමන්ට හැකි ව්‍යායාමයක් ලෙස ශරීරය වෙහෙස කරවීමද සුදුසුයි. මේ සඳහා දීවීම, වත්තපිටිය ශුද්ධ පවිත්‍ර කර ගැනීම් ආදියෙන් ශරීරය වෙහෙසට පත්කළ හැක්‌කේය. රාත්‍රි ආහාරගෙන පැය දෙක තුනක් ඉක්‌මවීමට පෙර නින්දට යැමද යෝග්‍ය නොවේ. යටකී ජීවන රටාවන්ගෙන් තොරව ජීවත් වීමෙන් ශරීරය ස්‌ථුලවේ. මහත්වේ.
මිනිස් සිරුරේ රුධිරයේ සාමාන්‍ය සීනි ප්‍රමාණය 70 - 115 අතරවීම නිරෝගී බවේ ලක්‌ෂණයකි. මෙම ප්‍රමාණය අඩුවුවහොත් ක්‌ලාන්ත ගතිය ඇතිවේ.
රුධිරයේ ඇති සාමාන්‍ය සීනි ප්‍රමාණය අධික වන්නේ රුධිරයේ ඇති ග්ලුකෝස් සෛලවලට උරා නොගැනීම නිසාය. මේ නිසා ශරීරයට අවශ්‍ය ශක්‌තිය හීන කරයි.
දියවැඩියාව වැඩි වශයෙන් වැඩිහිටියන්ට පමණක්‌ව නොව පාසල් දරු දැරියන්ටද වැළඳී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලින් හෙළිවෙයි. මීට හේතුව වී ඇත්තේ දෙමාපියන් විසින් තම දරුවන්ට ජලය පානය වෙනුවට පැණි මිශ්‍ර කෘතිම බීම වර්ග බීමට පුරුදු කරවීමයි. මෙවන් පුරුදු අත්හැරීමට දෙමාපියන් වගබලා ගත යුත්තේය. ළමුන්ට ක්‌ෂණික ආහාර ලබාදීමද උචිත නැත.
ඉදිරි අනාගත පරපුර රැක ගැනීමට විධිමත් ආහාර පාන ගැනීමේ ක්‍රියාවලියට වැඩිහිටියන් නැඹුරු වීම වඩාත් වැදගත්.
වෛද්‍ය ශූරි, ආයුර්වේද විශාරද පණ්‌ඩිත
ආර්. ඒ. ඩී. හෙන්රි රණසිංහ
0 Comments