රාහු කේතු මාරුව 2023 - 2025

 

රාහු කේතු මාරුව 2023 - 2025

ඉතින් .. ප්‍රේක්ෂක පාඨක හිතවතුනි .. භෞතිකමය ස්වරූපයෙන් කිසිදු පංචේන්ද්‍රිය තත්වයකට ගෝචර නොවන , ගණිතමය වූ බුද්ධි මානයෙන් පමණක් දැන දැක හදුනාගැනීමට හැකිවන ,සූර්‍ය චන්ද්‍ර පෘතුවි යන  ත්‍රිත්ව බල සාධකයෙන් සැකසීගත්තාවූ රාහු කේතු, භාරතීය ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රය තුළ මනුෂ්‍ය කර්මයේ අඳුරු පැතිකඩ කියාපානු ලබන ප්‍රධාන කර්ම ග්‍රහ සඤ්ඤා රූපකය ලෙස දක්වා විග්‍රහ කරනු ලබනව.

එමෙන්ම මේෂ , වෘෂභ , මිතුන ආදී ලෙසින් වූ දොළොස් රාශි චක්‍රය තුළ සූර්‍ය වර්ෂ 18 ක් වූ නිත්‍ය ගමන් කාලයක් හිමිකරගන්නා රාහු සහ කේතු , රාශි චක්‍රයෙන් එක් රාශියක් පසුකිරීම සඳහා මාස 18 ක් , නැත්නම් දින 540 ක කාලයක් ගතකරන බව ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රය තුළ තවදුරටත් සඳහන්.

මෙලෙස වූ රාහු කේතු ක්‍රිස්තු වර්ෂයෙන් 2023 ක් වූ ඔක්තෝම්බර් මස 30 වනදා සිට , ක්‍රිස්තු වර්ෂ 2025 ක් වූ මැයි මස 18 වනදා දක්වා මීන සහ කන්‍යා යන රාශි ද්විත්වය හරහා ග්‍රහ චාරයේ යෙදෙන අතර , මෙම ග්‍රහ සංසිද්ධිය හරහා  මේෂ , වෘෂභ , මිතුන ආදී වූ දොළොස් ලග්නයෙන් උපන් මනුෂ්‍ය වූ ඔබ වෙත ඇතිකරනු ලබන කර්මයේ ක්‍රියාත්මක භාවය , පලාඵල සටහනක් ලෙස ජීවිතය තුළින් අප , අද , ඔබවෙත ගෙන එනු ලබනව.


මේෂ ලග්නය - 

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොළොස්වැන්න වෙත රාහු ග්‍රහයාගේ පැමිණීම සිදුවන අතර , ලග්නයෙන් හයවැන්න වෙත කේතු ග්‍රහයාගේ පැමිණීම සිදුවෙයි.මෙම ග්‍රහ සංසිද්ධිය මූලිකව ඉදිරි මාස 18 ක සීමාව තුළ ඔබගේ වියදම් ප්‍රමාණයෙන් වැඩිවීමට ලක්වන අතර වියදම් සඳහා වූ ආදායම් ද ප්‍රමාණයෙන් වර්ධනය වීම සිදුවනු ඇත.වෙනස් ආකාර වූ අරමුණු බලාපොරොත්තු සහිතව කටයුතු කිරීමට සිදුවනු ඇති අතර තම තත්වයන් ගෞරවයන් වෙත යම් ආකාර වූ හානියක් සිදුවිය හැකි කාලයක්වේ.සෞඛ්‍ය තත්වයන් පිළිබදව සැළකිළිමත්විය යුතු අතර යටපත්ව පැවතියා වූ රෝග දුර්වලතා මතුවීමක් සිදුවෙයි.සතුරු කරදර බාධා මතුවීමට අවස්තාව සහිත කාලයක් වනු ඇති අතර අදෘශ්‍යමාන දෝශ තත්වයන් හෙවත් අමනුෂ්‍ය දෝශ මතුකරනු ඇත.ස්වාමියා සහකරු පිළිබඳව වූ සෞඛ්‍ය තත්වයේ පිරිහීමක් ඇතිවනු ඇත.විවාහ අපේක්ෂිතයන් වෙත 2024 වර්ෂයේ මැද භාගයෙන් පසු සහනදායී තත්වයන් ඇතිකරයි.මෙතෙක් පැවතියා වූ යම් විශේෂ ප්‍රශ්ණ ගැටලු ආදියෙන් නිදහස් වීමක් ඇතිවන අතර ගෙවීගියා වූ මාස 18 ක සීමාව තුළ ලැබුවා වූ නොයෙක් ආකාර වූ අත්දැකීම් තුළින් නව ආකාර වූ ජීවන තත්වයක් වෙත ගමන් කිරීමට , ඉදිරි මාස 18 ක කාලය තුළ ඔබට අවස්තාව උදාවෙයි.


වෘෂභ ලග්නය - 

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් එකොළොස්වැන්න හරහා රාහු ග්‍රහයාගේ ග්‍රහ චාරයත් , ලග්නයෙන් පස්වැන්න හරහා කේතුගේ ග්‍රහචාරයත් 2025 මැයි 18 වනදා දක්වා සීමාවේ සිදුවෙයි.මේ අනුව ලැබීම් ලාබ සම්බන්ධ තත්වයන් වෙත සුභ තත්වයන් ක්‍රියාත්මක වන අතර , මෙතෙක් පවත්වාගෙන ආ යම් යම් කටයුතු තුළ අපේෂිත ලාභ ලැබීම සිදුවේ.විවිධ වූ ග්‍රහ චාරයන්ට යටත්ව පවතින සිද්ධි අමුදායක , ලැබීම ඇතිවිට අසීමිත ලෙසත් , ලාබ සීමාවන විට අසීමිතවත් එම තත්වයන් ක්‍රියාත්මකවෙයි.ඉගෙනීම් ආදී කටයුතු වෙත යම් යම් බාධක තත්වයන් ඇතිවෙයි.ඔබට විවිද වූ ගුණ ගති ස්වභාවයන් සහිත හිතවතුන් හිතවතියන්ගේ හමුවීම සිදුවන අතර , සමස්තය තුළ හිතුවක්කාරී චරිත ගුණ ගති සහිත අයගේ හමුවීමක් ඇතිවේ.වෙනදා සිටියා වූ හිතවතුන් හිතවතියන් වෙතින් දුරස්වීමක් නොයෙක් ආකාර හේතු සාධක තුළ ඇතිවනු ඇත.දරුවන් සිටිනා අයගේ , දරුවන් වෙත අපල තත්වයන් ක්‍රියාත්මකවීම , එම දරුවන්ගේ ග්‍රහ බල , කර්මඵල තත්වයන්ට යටත්ව සිදුවෙයි.


මිතුන ලග්නය  -

මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් සිව්වැන්න හෙවත් හතරවැන්න හරහා කේතුගේ ග්‍රහචාරය සිදුවන අතර , ලග්නයෙන් දසවැන්න තුළ රාහු ග්‍රහ චාරයේ යෙදීම ඉදිරි මාස 18 ක සීමාව තුළ සිදුවනු ඇත.මේ අනුව තම රැකියා ආදී තත්වයන් වෙත වෙනස්කම් වෙනස්වීම් සිදුවනු ඇති අතර ස්තිර රැකියාවක යෙදෙනා අය වෙතත් , අස්තිර වූ රැකියාවන් තුළ නියුතු අය වෙතත් රාහුගේ වෙනස්වීමේ ගුණ පලපෑම ක්‍රියාත්මක වනු ඇත.රැකියා තත්වයන් ආරක්ෂාවන ලෙස ඉදිරි මාස 18 ක සීමාවේ මිතුන ලග්න හිමියන් කටයුතු කළයුතුවේ.පිය පාර්ශවය මූලික වැඩිහිටියන් වෙත අසුබ යෙදීම සිදුවනු ඇත.උප්පත්ති කර්මපළ සාධකය තුළ සුබ කර්මයන් ලබා උපන් අය වෙත සුභ තත්වයන් බාධා සහිතව , නමුත් ක්‍රියාත්මක වෙයි.අසුබ කර්ම ලබා උපන් අය වෙත අසුභ කර්මයන් වෙත සෘජු ලෙස මුහුණ දීමට සිදුවනවා ඇත.එමෙන්ම තමා තුළ හිතුවක්කාරී වූ ගුණ ගති ක්‍රියාත්මක වන කාලයක් වන අතර පවුලේ සමගිය සාමය වෙත යම් යම් අසුභ තත්වයන් ක්‍රියාත්මක වනවා ඇත.එමෙන්ම තමා සතු වටිනා දේ හානි විම් ආදියට ලක්වනු ඇති අතර එවැනි දේ තුළ හදිසි කටයුතු යෙදෙනවා ඇත.නිවාස දේපළ ආදියේ කටයුතු ඇතිවනු ඇති නමුත් පාඩු අලාභ සහිත තත්වයන් වෙත මුහුණ දීමට සිදුවෙයි.විකුණා දැමීම් , උගස් කිරීම් ආදී කටයුතු සිදුවේ.දේපල විකුණා දැමීම් ආසන්න සීමාවන් තුළ සිදුවේ නම් ඒවා පාඩු සහිතව සිදුවිය හැක.නිවස ගෙදර දොර තත්වයේ පෙර කී ලෙස අසහන කාරී තත්වයන් ක්‍රියාත්මක අතර නිවසේ සාමාජිකයන් අතරම බේධ වීම් , අමනාපවීම් ඇතිකරයි.පෙර කී ලෙස පියා සහ වැඩිහිටියන් වෙත අපල යෙදෙනවා සේම මව සහ එම වැඩිහිටියන් වෙත අපල ක්‍රියාත්මක වෙයි.නිවෙස් පරිසරය අවුල් සහගත තත්වයන් ඇතිකරනු ඇති අතර සහනය සැනසීම මෙන්ම පිළිවෙල , පිරිසුදු ආකර්ශණීය තත්වයන් වෙත අසුභ තත්වයන් ඇතිකරයි.යාන වාහන ආදී ලෙසින් දේපළ මිලදී ගැනීමක් වෙයි නම් , පාඩු අලාබ සහිතව සහ රැවටීම් මුලාවීම් සහිත තත්වයන් සමඟ එම කටයුතු සිදුවෙයි.


කටක ලග්නය -

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් තුන්වන ස්තානය හරහා කේතු ග්‍රහයාත් , ලග්නයෙන් නමවැනි ස්තානය හරහා රාහු ග්‍රහයාත් ඉදිරි මාස 18 ක සීමාව තුළ ග්‍රහචාරයේ යෙදීම සිදුවන අතර , සෙනසුරු ඒරාශ්ටක අපල සමඟ මෙතෙක් පැවතියා වූ දුෂ්කරතාවයන් සමනය වීමක් , මෙම ග්‍රහ සංසිද්ධිය හරහා සිදුවනු ඇත.මෙතෙක් රැකියා ආදායම් මාර්ග වෙත බලපා පැවති අසුභතාවයන් සමනයවීමක් සිදුවන අතර නව ආදායම් මාර්ග හරහා තම කටයුතු වර්ධනය කරගැනීමට කටක ලග්න හිමියන් වෙත අවස්තාව උදාවෙයි.ස්තිර රැකියා ක්‍රම මාර්ග තුළ කටයුතු කලාවූ කටක ලග්න හිමියන්ගේ , ඒ ඒ අංශ තුළ පැවතියා වූ පීඩාකාරී හෝ අසහනකාරී අවුල් සහිත තත්වයන්ද මේ සමඟ නිරාකරණය කරගැනීමට අවස්තාව උදාවනු ඇත.දේපළ සම්බන්ධව පැවතියා වූ අයහපත් බව වෙත සහනය ඇතිවේ.පළමුකොට සිතේ නිදහස , සහනය ඇතිකරගැනීමට අවස්තාව උදාවන අතර නැවතී , ප්‍රමාදවෙමින් පැවතියා වූ කටයුතු නැවත ආරම්බ කිරීමටත් දේපළ , යානවාහන ඉඩකඩම් ආදී දේ තුළ පැවති ගැටලු නිරාකරණය කරගැනීමටත් , නව දේපළ ආදිය මිළදී ගැනීමටත් අවස්තාවන් උදාවෙයි.සහෝදර සහෝදරියන් , අසල්වැසියන් සහ පියා සහ පිය පාර්ශවයන් වෙත අසුභ ක්‍රියාත්මකවීමක් සිදුවනු ඇත.සමස්තයක් ලෙස ඉදිරි මාස 18 ක සීමාව තුළ අභියෝග සහිත තත්වයන් යටතේ යම් ආකාර වූ සාර්තකත්වයක් ලැබීමට කටක ලග්න හිමියන් වෙත අවස්තාව සැළසෙනවා ඇත.


සිංහ ලග්නය -

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දෙවැන්න වූ කන්‍යා රාශිය හරහා කේතු ග්‍රහයාත් , ලග්නයෙන් අටවැන්න හරහා රාහු ග්‍රහයාත් 2025 මැයි 18 දක්වා සීමාව තුළ ග්‍රහචාරයේ යෙදෙයි.මෙම ග්‍රහ තත්වය සමඟ සිංහ ලග්න හිමියන් වෙත විවාහ පවුල් ජීවිතය වෙත අසුභ බලපෑමක් ඇතිවෙයි.එය පවුල් ජීවිතයේ විවිධාකාර වූ දුෂ්කරතාවයන් ලෙස ක්‍රියාත්මක වන අතර බිරිද ස්වාමියා සහකරු අතර මෙතෙක් පැවතියා වූ සමඟිය පීඩනයට ගැටලුවට ලක්වෙයි.දරුවන් සම්බන්ධ තත්වයන් වෙතද නිසි ගුණ වටිනාකම් ක්‍රියාත්මක නොවනු ඇති අතර එය ඔවුන්ගේ කර්මඵල තත්වයන්ට යටත්ව ක්‍රියාත්මක වනු ඇත.ගමේ පදිංචි ප්‍රදේශයේ තමා වෙත පැවතියා වූ පිළිගැනීම වටිනාකම බාල වීමකට ලක්විය හැක.තම දුර්ගුණ , තමා තුළින්ම මතුවී ක්‍රියාත්මක විය හැකි අතර , එය භාහිර පාර්ශවයන්ගේ විවේචනයට ලක්වීම සිදුවෙයි.එමෙන්ම මෙතෙක් පැවතියා වූ මුදල් ආර්තිකමය ශක්තීන් පිරිහීමට ලක්වන අතර මුදල් සම්බන්ධ වූ සියලු කටයුතු තුළ දුරදිග බලා කටයුතු කිරීම යහපත්වේ.එමන්ම ණයට ගැනීමෙන් ගෙවා ගැනීම අපහසු වන අතර , මුදල් ණයට දීමෙන් , එම මුදල් නැවත ආපසු ලබගැනීමට බාධා ඇතිකරයි.මීට අමතරව තම ශරීරයේ යටපත්ව පැවති රෝග දුර්වලතා , නැවත මතුවී වර්ධනය වීම සිදුවිය හැකි අතරම නව රෝග දුර්වලතාවයන්ට පහසුවෙන් ලක්වීම සිදුවනු ඇත.ශරීරයේ ලේ ධාතුව සම්බන්ධ යහගුණ තත්වයන් දුර්වල වන අතර ඕනෑම රෝග තත්වයක් පහසුවෙන් තමා  වෙත පැමිණීම සිදුවේ.වස විස ආදියෙන් ද , සතුන් සර්පයන්ගෙන් ද අසුභ තත්වයන් ක්‍රියාත්මක වියහැකි අතර අමනුෂ්‍යෙ දෝශ ක්‍රියාත්මකවීමට හේතු සහිත ස්ත්‍රී සහ පුරුෂ දෙපාර්ශවය වෙත එවැනි ආකාරවූ දෝශ තත්වයන් අඩුවැඩි ලෙස ක්‍රියාත්මක වෙයි.මළගිය ඤාති බලපෑම් මතුවීමටත් කළුකුමාර දෝශය ,තනිකම් දෝශය වැනි දෝශ තත්වයන් මතුවී ක්‍රියාත්මක වීමටත් ඉදිරි මාස 18 ක සීමාව තුළ සිංහ ලග්න හිමියන් වෙත සිදුවනවා ඇත.


කන්‍යා ලග්නය - 

කන්‍යා ලග්න හිමි ඔබගේ ලග්න ස්තානය හරහා කේතු ග්‍රහයාත් , ලග්නයෙන් හත්වැනි ස්තානය තුළ රාහු ග්‍රහයාත් ඉදිරි මාස 18 ක සීමාව තුළ ග්‍රහචාරයේ යෙදෙනු ඇත.මේ සමඟ තමාගේ ගුණ වටිනාකම් පිරීමක් ඇතිවනු ඇති අතර තමා තුළ මුරණ්ඩු හිතුවක්කාරී ගුණ මතුවී ක්‍රියාත්මකවේ.හිසට යමක බරක් තදින් දැනෙනා බවක් ඇතිකරයි.යමක මූලික ස්වභාවය  , දැන දැක හදුනාගැනීමට මෙම මාස 18 ක සීමාව තුළ කන්‍යා ලග්න හිමියන් වෙත අපහසු වියහැකි අතර නිරවුල් වූ දේ තුළට පවා තමා හේතුකාරකවීමෙන් නොසිතූ අර්බුධයන් ඇතිවීම පවා සිදුවිය හැකිවෙයි.විවාහ අපේක්ෂිතයෙකු නම් විවාහය සිදුකරගැනීමට මේ කාලය තුළ අවස්තාවක් පවතී.එවැනි මංගල කාරණා වෙනුවෙන් තමා මූලික උත්සහය දැන් සිටම ගැනීම ඉදිරිය වෙනුවෙන් යහපත් වෙයි.විවාහ පවුල් ජීවිත ගතකරණු ලබන අය වෙත ස්ත්‍රී පුරුෂ , බිරිද සහකරු ලෙසින් අති සංකීර්ණ තත්වයකට මුහුණ දීමට කන්‍යා ලග්න හිමියන් වෙත සිදුවනවා ඇත.තේරුම් ගැනීමට , අවබෝධ කරගැනීමට නොහැකිවන ලෙස ස්වාමියා සහකරු බිරිද යන සාධක ගුප්තමය ස්වභාවයන්ට ලක්වේ.රැකියා සහ ආදායම් සම්බන්ධ වූ තත්වයන් තුළ වෙනදා පැවති සහනදායී බව අක්‍රියවී නව ගැටලු බාධක තත්වයන් ක්‍රියාත්මක විය හැක.සතුරන් ඇතිවීමටත් ,තමාට නොගැළපෙන්නා වූ අයගේ හමුවීමත් සිදුවෙයි.ගරීරය කෙට්ටු ස්වභාවයට පත්විය හැකි අතරම පහසුවෙන් රෝග දුර්වලතා මතුකරයි.තදබල විනාසකාරී සෞඛ්‍ය දුර්වලතාවයන් නොවන නමුත් , නිතර නිතර ඇතිවන්නා වූ උණ සෙම්ප්‍රතිශ්‍යාව ආදී සුලු තත්ව , නිතර ඇතිවෙමින් , පහසු සරළ ජීවන මාර්ග වෙත බාධා ඇතිකරනු ඇත.තමා සතු වටිනා භෞතික අයිතීන් පිරිහීමට , කැඩී බිදීමට ලක්විය හැකි අතර වෙනදා භාවිතාකල දේ භාවිතයට නොගෙන අත්හැර දැමීමට සිදුවිය හැක.තමා තුළින් වෙනදා භාහිර වෙත ඇතිකළ ආකර්ෂණීය ගුණ ගති සාධක මෙම මාස 18 ක සීමාව තුළ පිරිහීමට ලක්වනු ඇත.


තුළා ලග්නය -

තුළා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොළොස්වැන්න හරහා කේතු ග්‍රහයාත් , ලග්නයෙන් හයවැන්න හරහා රාහු ග්‍රහයාත් 2023 ඔක්තෝම්බර් 30 සිට - 2025 මැයි 18 දක්වා සීමාව තුළ ග්‍රහචාරයේ යෙදෙයි.මෙම ග්‍රහ සංසිද්ධිය මූලිකව තුළා ලග්න හිමියාගේ ජීවිතය අදුරින් මිදී කළ එළි භාවයට පත්වීම සිදුවනු ඇත.ගෙවීගියා වූ මාස 18 ක සීමාව තුළ ඉටුනොවූ අරමුණු බලාපොරොත්තු ඉටුකරගැනීමට නිසි අවස්තාවන් හිමිවන අතර නොයෙක් ආකාර ලෙසින් ජීවිත වෙත ඇතිවී පැවති අසුබ බලපෑම් , සීමාවීම් බිදවැටීම සිදුවෙයි.මානසික වූ සුවය සහනය සැනසීම ඇතිවන අතර සමාජීය වශයෙන් දුර්වලව පැවතියා වූ ආකර්ෂණීය ගුණ වටිනාකම් නැවත සක්‍රීය භාවයට පත්වෙයි.පිළිගැනීම් වටිනාකම් හිමිවෙයි.ප්‍රමාද වූ විවාහය සිදුවනු ඇත.විවාහ දිවිය තුළ පැවතියා වූ අවහිර බාධක ඉවත්ව සමගිය සාමයට අවස්තාව හිමිවෙයි.රැකියා අංශයේ වර්ධනය වටිනාකම හිමිවේ.මුදල් ආර්තිකමය තත්වයන් තුළ සහනයත් ස්තාවරත්වයත් ඇතිකරගැනීමට අවස්තාව සහිතවෙයි.වියදම් අධිකවීමක් සිදුවන නමුත් , එම විදම් වෙනුවෙන් මුදල් ලැබීම සහිතවේ.රෝග දුර්වලතා ආදියට නිසි ප්‍රතිකාර පිළිවෙත් හමුවෙයි.ගුප්ත දෝශ තත්වයන්ට ලක්ව සිටියා වූ අයවෙත සහනය ඇතිවේ.නිවසේ ගෙදරදොර පැවතියා වූ අසහනකාරී තත්වයන් මගහැරී යනු ඇත.හිතමිත්‍ර සබඳතා සීමිත වශයෙන් ඇතිවන , පවතින කාලයක් වේ.දරුවන් සම්බන්ධ කරුණු වෙනුවෙන් තරමක් වෙහෙසී මහන්සියෙන් කටයුතු කිරීමට සිදුවේ.නමුත් වෙහෙස මහන්සියේ ප්‍රතිඵල , යහගුණ සුභ ලෙස දරුවන් වෙතින් ඉටුවිය හැකි අතර , එය දරුවන්ගේ කර්මඵල තත්වයන්ට යටත්ව සිදුවනු ඇත.සමස්තයක් ලෙස තුළා ලග්න හිමියන් වෙත ගෙවීගියා වූ මාස 18 ක සීමාවට වඩා , 2023 ඔක්තෝම්බර් 30 සිට 2025 මැයි 18 දක්වා වූ ඉදිරි සීමාව යහපත් සුභදායක කාලයක් වනු ඇත.


වෘශ්චික ලග්නය - 

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් කොළොස්වැන්න හරහා කේතු ග්‍රහයාත් , ලග්නයෙන් පස්වැන්න හරහා රාහු ග්‍රහයාත් 2025 මැයි 18 වනදා දක්වා සීමාවේ ග්‍රහචාරයේ යෙදෙයි.මේ අනුව වෘශ්චික ලග්න හිමියන් වෙත සුභාශුබ තත්වයන් ඇතිකරනු ඇත.ඉගෙනීම් අධ්‍යාපනික කටයුතු සඳහා බාධක ඇතිකරයි.මූලික ඉගෙනීම් මාර්ග වෙනසකට ලක්වනු ඇති අතර ඉගෙනීමෙන් භාහිර වූ කටයුතු වැඩි වශයෙන් ඇතිකරයි.ක්‍රිඩා ආදී වෙනත් කටයුතු තුළ දක්ෂතාවයන් මතුවෙයි.එමෙන්ම නොයෙක් ආකාර වූ ගුණ ගති සහිත අයගේ හිතවත්කම් ඇසුර ඇතිවේ.එම සබඳතා තමාවෙත කාලීනව අයහපත ඇතිකරනවා ඇත.පැවති හිතමිත්‍ර සබඳතාවයන් වෙනසකට ලක්කරයි.ප්‍රේම සබඳතා ආදිය ඇතිවනු ඇති නමුත් ඒ තුළ අවංක චේතනාවන් නොපවතී.එවැනි සබඳතා හේතුවෙන් අනවශ්‍ය සහ නොසිතූ ගැටලු ඇතිකරයි.හවුල් කටයුතු ව්‍යාපාර ආදියට අවස්තා ඇතිවෙයි.විවාහය සම්බන්ධව පවතින බලාපොරොත්තු වෙත 2024 මැයි මාසයෙන් ඉදිරියට සුභ තත්වයන් බලාපොරොත්තු විය හැකි වෙයි.නිවස ගෙදර දොර සහනය සමගිය අඩු කාලයක් වේ.මව සම්බන්ධව අපල ක්‍රියාත්මක වෙයි.තම සෞඛ්‍ය සමබන්ධව ගත්විට උදරගත රෝග තත්වයන්ට ලක්වීමේ අවස්තා පවතී.මානසික වූ සහනය අවම කාලයක් වෙයි.


ධනු ලග්නය -

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දසවැන්න තුළ කේතු ග්‍රහයාත් ලග්නයෙන් සිව්වැන්න තුළ රාහු ග්‍රහයාත් 2023 ඔක්තෝම්බර් 30 වනදා සිට 2025 මැයි 18 දක්වා සීමාවේ ග්‍රහචාරයේ යෙදෙන අතර මේ සමග ධනු ලග්නයෙන් උපන් ඔබගේ රැකියා මාර්ග වෙත බාධා අවහිරතා මතුකරනු ඇත.ත රැකියා මාර්ගය කුමක් උවත් ඒ තුළ දුෂ්කරතා ඇතිකරයි.වෙනදාට වඩා වැඩි වූ කැපවීමක් සහිතව කටයුතු කිරීමට සිදුවන අතර තමා වෙත වෙනදාට වඩා වැඩි වූ වගකීම් ප්‍රමාණයක් තමාවෙත යෙදෙනවා ඇත.එම වගකීම් තමා තුළින් මගහැරීම් සිදුවන අතරම ප්‍රධානීන් වෙතින් විවේචනයන් ඇතිකරයි.එමෙන්ම විදෙස්ගතවීම් ආදියට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා මාර්ග ඇතිවනු ඇති අතර නමුත් නිසි ක්‍රම මාර්ග අනුව කටයුතු කිරීම සිදුකළයුතු අතර ඒසේ නොවන්නේ නම් ඒ තුළ රැවටීම් මුලාවීම් සිදුවිය හැකිවෙයි.නිවාස දේඵල ආදියේ මෙතෙක් මගහැරී නැවතී පැවතී කටයුතු නැවත ආරම්බ කිරීමට අවස්තාව සහිත අතරම ඒ සඳහා අමතර වියදම් දැරීමට සිදුවෙයි.නව දේපළ මිලදීගැනීම් සදහා අවස්තා පවතී.මානසික සුවසහනය නිරවුල් නොවනු ඇති අතරම නිවසේ සහනය අවම වූ කාලයක් වෙයි.


මකර ලග්නය -

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් නවවැන්න තුළ කේතු ග්‍රහයාත් , ලග්නයෙන් තුන්වැන්න තුළ රාහු ග්‍රහයාත් ඉදිරි මාස 18 ක සීමාවේ ග්‍රහචාරයේ යෙදෙන අතර , මෙතෙක් මකර ලග්න හිමියන් වෙත යෙදී පැවතියා වූ බාධක තත්වයන් කිහිපයක් මූලික වශයෙන් අවසන්වනු ඇත.රැකියා ආදායම් මාර්ග තුළ පැවති බාධාකාරී තත්වයන් වෙත සහනය ඇතිවන අතර රැකියා අහිමිව පැවති මකර ලග්න හිමියන් වෙත නව රැකියා අවස්තාවන් හිමිවීම සිදුවනු ඇත.වෙනදාට වඩා උද්යෝගයකින් යුතුව කටයුතු කිරීමටත් , අභියෝගයට අභියෝග කිරීමේ ආත්ම ශක්තියත් මකර ලග්න හිමියන් වෙත හිමිවනු ඇත.මෙතෙක් මගහැරී , අතපසුව හෝ අතහැර දමා පැවති කටයුතු නව ආකාරයෙන් ආරම්භ කිරීමට ශක්තිය අවස්තාව හිමිවනවා ඇත.එමෙන්ම ඉඩම් දේපළ ආදී කටයුතු තුළ පැවති බාධක අවසන් වනු ඇත.සහෝදර සහෝදරියන් අතර පැවතියා වූ බැදීම් විස්වාසයන් බිදවැටීමකට ලක්වනු ඇති අතරම අසල්වැසි සබඳතාවයන් වෙනසකට ලක්වනවා ඇත.සෙනසුරු ලග්න ඒරාශ්ටක අපල හේතුවෙන් මෙතෙක් පීඩනයට ලක්ව සිටි මකර ලග්න හිමියන් වෙත , රාහු කේතු ග්‍රහ චාරය සමඟ සැනසීමට යහපතට මූලික අවස්තා උදාවන අතර මේ සමඟ නව ආකාරයක ජීවන තත්වයක් වෙත පා තැබීමට මකර ලග්න හිමියන් වෙත අවස්තාව උදාවනු ඇත.


කුම්භ ලග්නය -

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් අටවැන්න තුළ කේතු ග්‍රහයාත් ලග්නයෙන් දෙවැන්න තුළ රාහු ග්‍රහාත් 2025 මැයි 18 වනදා දක්වා සීමාවේ ග්‍රහචාරයේ යෙදීම ඒරාශ්ටක අපල ආදියෙන් මෙතෙක් පීඩාවට පත්ව ඇති මෙම ලග්න හිමියන් වෙත තවදුරටත් අභියෝග සකසා දෙනු ඇත.තම ධනය , මිළ මුදල් ආර්තික තත්වය වෙත බලපෑමක් ඇතිවනු ඇති අතර ණය මුදල් ආදිය බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒවා ලැබීම සිදුවන නමුත් , එම ලබනා මුදලින් නිසි ප්‍රයෝජන ලැබීම අපහසුවේ.නිශ්ඵල වියදම් අමතර වියදම් දැරීමට සිදුවනු ඇත.මුදල් ආයෝජණයෙන් නිසි ප්‍රතිලාභ ලැබීම අපහසු වන අතර තමා වියදම් කරන රුපියලේ සිට සියලු මුදල් කටයුතු පිළිබඳව නිසි වගකීමකින් අවබෝධයකින් යුතුව කටයුතු කිරීම යහපත් වනවා ඇත.එමෙන්ම ජීවත්වන ගම ප්‍රදේශයේ තමා වෙත පැවති නම වටිනාකම වෙත පිරිහීමක් ඇතිවීමටත් , පවුල් ජීවිත ගතකරනා අයගේ එම සාධකය වෙත නව ගැටලු මතුවීමත් සිදුවන කාලයක් වේ.පවුලේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා කැපවීමක් සිදුකිරීමට සිදුවනු ඇති අතර එය අභියෝගාත්මක වෙයි.එමෙන්ම තම සෞඛ්‍යාදී තත්වයන් පිළිබදව සැළකිළිමත්වීම යහපත් අතර මෙතෙක් පවතින රෝග පීඩා වර්ධනය වීමටත් , නව රෝග තත්වයන් ඇතිවීමටත් අවස්තාව සහිත වෙයි.රාත්‍රී ගමන් ආදියේදී ප්‍රවේසම්විම යහපත් අතර වස විසට ලක්වීමට , සතුන් සර්පයන් ආදීන් මූලිකව පීඩාවන් ඇතිවීමට අවස්තා සහිත කාලයක්වේ.එමෙන්ම අමනුෂ්‍යය වූ අදෘශ්‍යමාණ දෝශ තත්වයන්ට ලක්වීමට කුම්භ ලග්න හිමියන් වෙත ඉදිරි කාලයේ අවස්තාව පවතී.


මීන ලග්නය -

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්න ස්තානය තුළ රාහු ග්‍රහයාත් , ලග්නයෙන් හත්වැන්න තුළ කේතු ග්‍රහයාත් ඉදිරි මාස 18 ක සීමාව තුළ ග්‍රහචාරයේ යෙදීම සිදුවෙයි.ඔබ මෙතෙක් ගතකරමින් සිටියා වූ ජීවන තත්වය වෙනස් මානයකට ගමන් කිරීම මේ සමඟ සිදුවනු ඇත.සිතුම් පැතුම් බලාපොරොත්තු ලෙසින් සමස්තයක් වූ ජීවන කරුණු වෙනසකට ලක්වන අතර මෙතෙක් තමා අත්නොවිදි නොයෙක් ආකාර වූ ජීවන අත්දැකීම් ඉදිරි මාස 18 ක් අසීමාව තුළ අත්විදීමට ඔබට සිදුවේ.මෙතෙක් ඔබ ඇසුරු කළ හිතමිත්‍රයන් වෙතින්ද , ඇසුරු කලාවූ සමාජය තුළින්ද වෙන්වීමක් වෙනස්වීමක් සිදුවන අතර නව පිරිසකගේ , නව සමාජයක ඇසුර ඇතිවේ.ගුණ ධර්ම යහපත තමා තුළින් මගහැරී යනු ඇති අතර තම කටයුතු තම රිසි ලෙස සිදුවේ.තමා තුළ හිතුවක්කාරී ගුණ ගති ඇතිකරයි.ඉගෙනිම් අධ්‍යාපණික කටයුතු තුළ නියුතු අය වෙත අසුබ බලපෑම් ඇතිවන අතර ඉගෙනීම් කටයුතු බිදවැටීමට හෝ වෙනසකට ලක්වීම සිදුවනවා ඇත.විදෙස්ගතවීම් ආදී බලාපොරොත්තු සාර්තක කරගැනීමට හැකිවන නමුත් ඒ සඳහා නිසි මාර්ග භාවිතය යහපත්වේ.නැතිනම් සියල්ල බිදවැටීමකට හේතු පවතී.විවාහය බිරිද , ස්වාමියා සහකරු පවුල් ජීවිතය ආදී සාධක තුළ තම වගකීම් මගහැරී යාමටත් , නොසිතූ හදිසි ගැටලු සඳහා මුහුණ දීමටත් සිදුවේ.දරුවන් සම්බන්ධව අපල තත්වයන් මතුවේ.ධනය , මිඅල මුදල් ආර්තිකය තුළ යහපත් බවක් 2024 මැයි මාසය දක්වා වූ කාලය තුළ ඇතිකරගැනීමට හැකියාව පවතී.2024 මැයි මාසයෙන් පසු අපල අසුභ වර්ධනය වීමක් සිදුවෙයි.


සම්පාදනය - ජනක් පී කුමාර

හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්

Post a Comment

0 Comments