සෞභාග්‍යයට ප්‍රේමයට අධිපති ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟන


සිරිකත නැතිනම් ශ්‍රියා කාන්තාව ලෙසට හැඳින්වෙන්නේ ශ්‍රී ලක්‍ෂ්මි දිව්‍යාංගනාවයි. ඉතිං මේ ලක්‍ෂ්මි දිව්‍යාංගනාව ගැන වැඩි පිරිසක්‌ නොදන්න දේවල් බොහොම රසවත් ඒ වගේම ඓතිහාසිකයි. අපේ සොෘභාග්‍යයට සශ්‍රීකත්වයට රූපශ්‍රියාවට සමෘද්ධියට සුගන්ධයට - ධනයට - රසයට - අලංකාරයට - ප්‍රේමයට ඇය ආධිපත්‍යය දරනවා.

හැබැයි ජරාජීර්ණ වුන ස්‌ථානවලට දුර්ගන්ධයට පරුෂ වචන හිස්‌වචන පවතින තැනට කන් පැලෙන තරමේ මහ ශබ්ධයන් කැසට්‌ වැනි ශබ්ද අනුචිත ලෙස පවතින තැනට නිතර දුක්‌ අෙ¹නා නැගෙන තැනට ඇයගේ බැල්ම ලැබෙන්නේ නැහැ. එසේම පොත පතේ තියන විදියට අනෙක්‌ දෙව්විරු බුදුබව ප්‍රාර්ථනා කරන බැවින් ඔවුන් මනුෂ්‍යයාගෙන් පිං බලාපොරොත්තු වුනත් ලක්‌ෂ්මි දෙවඟනට එහෙම බලාපොරොත්තුවකුත් නැහැලු.

ඇය විවාහ වෙලා ඉන්නේ ඉතාම ශ්‍රේෂ්ඨ දේව උත්තමයෙක්‌ එක්‌කයි. ඒ වෙන කවුරුවත් නොවෙයි. මහා විෂ්ණු දෙවිඳු සමගයි. එනිසා ඇය පතිවත රකින්නාවු දිව්‍යාංගනාවන් අතර රූපශ්‍රියාවෙන් ප්‍රථමයා ලෙස වැජඹෙන බව සඳහන් වෙනවා. එසේම සර්ව සුබවාදී දෙවඟණක්‌ ලෙස සදෙව් ලොව පුරා ප්‍රචලිත ඇය ලෝක වාසී සත්වයාට ඉහතින් කියපු කරුණු කාරණා අත්කර දීමට ඉතාම පූජනීයත්වයෙන් බලා සිටිනවා.

මෛත්‍රි - කරුණා - මුදිතා - උපේක්‌ඛා යන සතර බඹ විහරණය සුරක්‍ෂාකරන ඇය එවන් ගුණ ඇති මනුෂ්‍යයන්ට හැම විටකම පිහිට වෙනවා. ඉරණිය - බලිබස්‌ම වැනි අසුරයන් වගේ දකින දකින කෙනා සමග ප්‍රේමයෙන් නොවෙලෙන ඇය විෂ්ණු දෙවිඳු සමග ආත්මගත පාරමිතාවක ගමනේ යෙදී ඇති බව ශ්‍රී ලක්‍ෂ්මි පුරාණය පවසයි. එනිසා විෂ්ණු දෙවිඳු මෙතෙක්‌ ලොව පහළ වු සෑම ආත්ම භවයකදීම එතුමාගේ දේවිය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලක්‍ෂමිය මයි. සැබෑ ස්‌ත්‍රීත්වයෙන් ඇය එතුමා වෙනුවෙන් විවිධ දුක්‌ ගැහැට පවා විඳිමින්, පතිවන රකිමින්, සැබෑ පතිනියකගේ ආදර්ශය දෙවි මිනිස්‌ ලෝකවලට ලබා දුන්නාය.

රාම සීතා සුන්දර කතා පුවත ඔබද දන්නවා විය හැකියි. ඒ රාමා ලෙස මහා භාරතයේ අයෝධ්‍යා පුරයෙහි උපත ලද්දේ විෂ්ණු දෙවිඳුමය. ඔහුගේ සදාදරණීය ප්‍රේමවන්තිය වූ සීතා වූයේ ශ්‍රී ලක්‍ෂ්මි දේවියයි. ලංකාධීශ්වර රාවනාගේ බලයට හසු වූ ඇය ලංකාවට රැගෙනවිත් දොළොස්‌ වසරක්‌ රාවනාගේ අඩම් තේට්‌ටම් මැද සිරකාරියක්‌ වී සිටියත් රාවනාගෙන් ඇය පතිවත් රැක ගත්තාය. අවසානයේ විෂ්ණු දෙවිඳු හෙවත් ඒ ආත්ම භවයේ රාම කුමරුට ඇය හිමිවන විටත් ඇය පතිවත රැක සිටියේ ඒ භක්‌තිය රාම කුමරුට ප්‍රකට කළාය.

විෂ්ණු දෙවිඳු අවතාර හෙවත් මූර්ති 10 කින් ලොව පෙනී සිටිමින් සත්ත්වයාට පිහිට වෙයි. ඒ විදියටම ශ්‍රී ලක්‍ෂ්මි දේවියත් මූර්ති 10 කින් පෙනී සිට සත්වයාට පිහිට වන බව සඳහන් වෙනවා. එනම් ශ්‍රී ලක්‍ෂ්මි - මහාලක්‍ෂ්මි - ධනලක්‍ෂ්මි - රූපලක්‍ෂ්මි - නෘත්‍ය ලක්‍ෂ්මි - ප්‍රතාප ලක්‍ෂ්මි - සූර්ය ලක්‍ෂ්මි - සුන්දර ලක්‍ෂ්මි - වීර්ය ලක්‍ෂ්මි - සර්වරෝග නිවාරණ ලක්‍ෂ්මි වශයෙන් හැඳින්වෙනවා.

මුදාහළ නීලවර්ණ කෙස්‌ කළඹ සේම මනෝහර රූප ශ්‍රියාව, පච්ච වර්න හැට්‌ටයකින්ද රක්‌ත වර්ණ සළුවකින්ද ඇගේ ඇත්දත් වර්ණ මනෝහර සිරුර වසා සිටින්නීය. නිල් වර්ණ මැණික්‌ එළි විහිදන දිව්‍යමය ඔටුන්නත්, මාලාදාම වළලු- සිලම්බු - මිණි මෙවුල් ආදී දිව්‍යාභරණයෙන් සැරසුන ඇය ගැන, ඇගේ ලස්‌සන ගැන පහත රට ශාන්තිකර්මවල මෙසේ පවසයි.

නීල චන්ද්‍ර රේඛාවෙන් මුකුළු කරනවා

දැල වරේ මිණි නිල්වැට පවන් සලනවා

ආල වඩන රතුඔසරිය දෙවුර වසනවා

කෝල නැතුව මල් අසුනට වැඩම කරනවා



සොල්ලා පියයුරු දැලේ දෙකණත් ඔමරී

ගල්ලා චන්දන පිනිදිය රතුරන් මිහිරී

අල්ලා සුදු රත් සලුදෙක ඇඳගන ඔමරී

සොල්ලා දෙපයේ ගිගිරිත් එන කල මිහිරී



මෙසේ වූ ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟන ගෙන් ඔබ පිහිට පැතිය යුත්තේ කොහොමද? ඇගේ පිහිට ලැබීමට ඔබ සුදුස්‌සෙක්‌ වන්නේ කොහොමද? ඒ සඳහා කළ යුත්තේ කුමක්‌ද? කියා දැන් ඔබට ප්‍රශ්න ගොඩක්‌ පැන නගිනවා ඇති.

ඔබට විශිෂ්ඨ ප්‍රතිඵල ශ්‍රී ලක්‍ෂ්මි දෙවඟනගෙන් ලබා ගන්නට නම් ඇගේ කරුණා - මෛත්‍රි - මුදිතා - උපේක්‌ඛා යන උත්තම ගුණයන්ට ඔබද සමගාමි කෙනෙක්‌ බවට පත්ව සිටිය යුතුයි. කරුණාවට වඩා කේන්ති ගති ඔබට වැඩිනම්, මෛත්‍රි ගුණයට වඩා වෛර සිත ඔබට එන්නේ නම්, මුදිතා ගුණයට වඩා ඔබට අනුන්ගේ දේවල් හෝ සැප දකින කොට ඊර්ෂ්‍යාව මතුවේනම්, ඔබට ලැබෙන දෙයින් සිත සතුටු නොවීම නිරන්තර ඇති වෙනවා නම් ශ්‍රී ලක්‍ෂිමියගෙන් පිහිට ලැබීම දුෂ්කර වෙයි.

පස්‌ පවෙන් වැළකී අදහන ආගමට අනුකූලව ජීවත්වෙමින් දාන මාන පරිත්‍යාග කරමින් - භාවනා - යෝගවල යෙදෙමින් විශ්ණු දෙවිඳුට පින් ලබා දෙමින් ලක්‍ෂ්මි වෙනුවෙන් ඇගේ රුවක්‌ ඉදිරියේ හඳුන්කූරක්‌ දල්වා සුවඳ පූජාවක්‌ කළ පමණින් ඇගෙන් පිහිට ලබාගත හැක. ගෙදර දොර පිරිසිදුකම ක්‍රමවත් බව ගෙදර අය අතර නොසරුප් වදන් හිස්‌වචන නැතිව මොලොක්‌ කතාබහම ඇතිවීම කන් බිහිරී වන තරමට නොව ප්‍රසන්න ලෙස සියුම්ව ගීතාදි දේවල් වාදනය වීම ඌරු මස්‌, හරක්‌ මස්‌ වැනි මාංශ වර්ග තම නිවසට නොගැනීම හා නොකෑම.

මත්පැන් බීම මෙන්ම මත්පැන් බී නිවසේ සාද පැවැත්වීම, නරක ක්‍රියා එනම් වංචා කපටිකම් වැනි දේවල් නොකිරීම ආදීවු සුදුසුකම් ඔබ විසින් සපුරා ගතයුතුය. එකී කරුණු අසුරයන්ට අයත් දේවල්ය. එසේම අසුරයන් හා දෙවියන් හැම විටම ප්‍රති විරුද්ධය. එකී අසුරයන්ට අයත් ක්‍රියාවන්ගෙන් ඔබ මිදී යහපත් මිනිස්‌ ගුණාංග තුළ සිටින්න.

බෞද්ධයෙක්‌ නම් දිනපතා බුදුන් වැද විෂ්ණු දෙවිඳුටත් ලක්‍ෂ්මි දේවියටත් පිං දි ලක්‍ෂ්මි රුව ඉදිරියේ මනා සුවඳින් යුතු හඳුන්කූරක්‌ දල්වා ලක්‍ෂ්මිගේ දශමූර්ති නාම සිහිකර ආශිර්වාද ලැබේවායි පතන්න. ලක්‍ෂ්මි රූපයට සුවඳ මල් මාලා පළඳවන්න. විශේෂයෙන් සෙනසුරාදා බදාදා දිනවලයි. ලක්‍ෂ්මි දැහැනෙන් මතුරාගත් සුවඳ දුම් උදේ සවස නිවසට ව්‍යාපාරික ස්‌ථානයට අල්ලන්න. මෙසේ නිරන්තර ඔබ කටයුතු කරන්නේ නම් ශ්‍රී ලක්‍ෂ්මියගේ ආශිර්වාදය ඔබේ නිවසට ව්‍යාපාරික ස්‌ථානයට ඔබේ වාහනයට ලබාගත හැකිය.

සුනිල්වන් ජලතලයක පිපුණු රත් පියුමක්‌ ශ්‍රී ධන ලක්‍ෂ්මියගේ ආසනය වෙයි. තම ස්‌වාමියා වූ ශ්‍රීවිෂ්ණු දෙවිඳුන්ට මෙන්ම ඇයයටද අත් සතරකි. උඩට ඔසවාගත් අත් දෙකකින්ද නෙලුම් මල් දෙකක්‌ දරා සිටී. එක්‌ අතක්‌ උකුල මත පිහිටි රන්කාසි පිරවු බඳුනට එතී ඇති අතර එම අතෙනුත් බඳුනෙනුත් රංකාසි විසිරී ගලායයි. අනිත් අතින් භූමිය ස්‌පර්ශ ස්‌වභාවයෙන් සංඥ ලබාදෙයි. ජලයට බැසගත් සුදු ඇතුන් දෙදෙනෙක්‌ දළෙන් මල්මාලා දරා සොඬින් ගත් පැන් කෙණ්‌ඩි ඇතිව ඇයට ගෞරව දක්‌වයි.

මේ දර්ශනය කෙතරම් චමත්කාරද? සතර අත ගස්‌වල පිපී සුවඳ දස අත පතුරන මල් සුගන්ධය අතර සුනිල්වන් ජලතලය සුපුෂ්පිත සුවÄති නෙලුමින් සුසැදි ශාන්තවු මිහිරි සියුම් නාද රටා සවනට වැකෙමින් මඳ සුළගේ සිසිල් කැන් මැද ඒ අසල ගල්තලාවක වැතිරුන මිනිසකුගේ හදවත මේ සොබා දහමින් කෙබඳු ආශ්චර්යමත් සුවයක්‌ ලබන්නේද ඒ ලක්‍ෂ්මියගේ ආශිර්වාදයම වෙයි.

ප්‍රශ්න ප්‍රශ්න අර ප්‍රශ්න මේ ප්‍රශ්න මැද එළිවෙන රෑ වෙන මිනිස්‌ දිවියේ කෘත්‍රීම වූ දේවලින් සහනය තනාගන්නට දඟලනවා. එයින් කිසිදු ස්‌ථීර සාර සහනයක්‌ නොලැබෙන විදියටම සිතුම් පැතුම් දවසින් දවස ලියලමින් හදවත් තුළ වැඩෙයි. එනිසා කිසිදින මිනිසා ආධ්‍යාත්මික සුවයක්‌ නොලබයි. කාලානුරූපව මේ වත්මන් ජන සමාජය තුළ නිවැරදි ලෙස ආගමානුකූල දිවි පැවැත්මක්‌ ඇතිකර ගැනීමට ප්‍රබල වෑයමක්‌ දැරිය යුතුය. එබැවින් දෛනික ජීවිතයෙය්දී හිමිදිරි පාන්දර හෝ රාත්‍රි කාලය තුළ හෝ සියලු ප්‍රශ්න සියලු ලෞකික සිතුම් පැතුම් දැවෙන පිළිස්‌සෙන කරදර බාධක මුලුමනින්ම සිතින් ඉවත්කර සමාධි බුද්ධ රූපයට සිත ධ්‍යානකර ආගමික වතාවත් තුළ නියෑලෙන්න.

එහි කෙළවර ශ්‍රී විෂ්ණු දෙවිඳු කතරගම දෙවිඳු ශ්‍රී ලක්‍ෂ්මි පත්තිනි මහා භද්‍රකාලි වැනි දෙවි දේවතාවියන් සිහිකර පින් අනුමෝදන් කර ශ්‍රී ලක්‍ෂ්මි දෙවඟනගේ තරමක්‌ විශාල පින්තූරය දෙස නිශ්චලව සිත එකඟකර බලාසිටින්න. ඉහත කී ලෙස ගල්තලාවේ වැතිර ඔබ ඒ 

සොබාදම් සිරිය තුළ කිමිදෙන්න. සකල සත්ත්වයා කෙරෙහි කරුණා මෛත්‍රි මුදිතා ගුණයෙන් ශ්‍රී ලක්‍ෂ්මි රුව දෙස බලා එලෙස සිත එකඟ කර සමාධියක මඳ වේලාවක්‌ සිටින්න.

පසුව සිතින් මෙනෙහි කරන්න. ඉතාම සුවඳවත් හඳුන්කූරක්‌ දල්වා ලක්‍ෂ්මි දේවියට එම සුවඳින් උපකාර කොට මා තුළ ඇති සියලු සිතුම් පැතුම් සේම දැවෙන පීඩාවෙන සියලු ප්‍රශ්න කරදර මේ සොබා දහම වූ ඔබතුමියගේ ආශිර්වාදයෙන් ශාන්තියට පැමිණේවා - සමෘද්ධියට පැමිණේවා - සදා සැපයට පැමිණේවායි මෙනෙහි කර දෛනික කටයුතුවල යෙදෙන්න.

මෙලෙස දිනක්‌ දෙකක්‌ සතියක්‌ නොව මාස තුනක්‌ හතරක්‌ ගතවන විට ඔබට ප්‍රතිඵල දැනෙන්නට වෙයි. කල්යත් යත්ම ප්‍රතිඵල ප්‍රතිඵල බලවත් වෙයි. එසේ නොවී ප්‍රතිඵල ප්‍රමාද වේනම් ඔබේ හදවතට ඔබම එබී බලන්න. ඔබ තුළ කුමක්‌ හෝ වරදක්‌ ඇත. මෛත්‍රිය කරුණාව මුදිතාව විශේෂයෙන් උපේක්‍ෂාව පිළිබඳ ගැටලුවක්‌ වරදක්‌ විය හැකිය. එය අවබෝධ කර වරද නිවැරදි කරගන්න. ශ්‍රී ලක්‍ෂ්මි දේවියට ඔබේ හදවත ඔබේ නිවස ඔබේ ව්‍යාපාරික ස්‌ථානය ඔබේ වාහනය තුළ ඇය සහිත සමෘද්ධියේ රත් පියුම සදා කල්ම පවතින ලෙස පුබුදු කර ගන්න.

ඔබ රාජ්‍ය හෝ වෙනත් රැකියාවක නියුතු නම් ධන ලක්‍ෂ්මි සිහිකරන්න. නිවසේ දොෂ කරදර දුරුවන පිනිස මහා ලක්‍ෂ්මි සිහිකරන්න. ඔබ රූපලාවන්‍ය ආදී සේවාවල යෙදී සිටීනම් රූප ලක්‍ෂ්මිය සිහිකරන්න සුන්දර ලක්‍ෂ්මියද විශේෂ වෙයි. ඔබ ගොවි වඩු මේෂන් වැනි වෘත්තියක නම් ධන ලක්‍ෂ්මි ශ්‍රී ලක්‍ෂ්මි වීර්ය ලක්‍ෂ්මි සිහි කිරීම කාලෝචිතය. ඔබ කිනම් හෝ නායකත්වයක්‌ දරන්නේ නම් ප්‍රතාප ලක්‍ෂ්මි සූර්ය ලක්‍ෂ්මි සිහිකරන්න. ඔබ නැටුම් ගැයුම් මෙන්ම ඕඩියෝ වීඩියෝ වැනි ක්‍ෂේත්‍රයක නම් නෘත්‍ය ලක්‍ෂ්මි සුන්දර ලක්‍ෂ්මි ශ්‍රී ලක්‍ෂ්මි මහා ලක්‍ෂ්මි ධන ලක්‍ෂ්මි යන කවුරු හෝ සිහිකරන්න. ඔබේ රෝගා බාධවලට ප්‍රතිකාර ගන්නේ නම් සර්ව රෝග නිවාරණ ලක්‍ෂ්මී සිහි කරන්න.

ඔබේ හදවත දෛනික ජීවිතයේ සිතුම් පැතුම් කරදර බාධක ප්‍රශ්න හමුවේ වුවද ඉහත කී පරිදි සොබා සෞන්දර්යට මෛත්‍රි කරුණා මුදිතා උපකේඛා යන ගුණ එක්‌කර ගත යුතුය. විශේෂයෙන් උපෙක්‌ඛා යනු ලද දෙයින් සතුට ඇතිකර ගැනීමය. මේ ගුණ සතියෙන් සතිය මාස යෙන් මාසය වසරින්වසර වර්ධනය කරගැනීම යනු ලක්‍ෂ්මී දේවියගේ බැල්ම ඔබට ඇතිවීමය.

ජ්‍යෙතිෂවේදී අගලවත්තේ බී. හේරත්