සිකුරු තුලාවට - සැමට සුබඵල


2018 සැප්තැම්බර් 01 වනදා ආසන්න වශයෙන් රාත්‍රී 11 - 32 ට එතෙක් තමා ගමන් කල කන්‍යා රාශියෙන් මිදී සිකුරු ග්‍රහයා තුලා රාශියට පිවිසීම සිදුවේ.තුලා රාශිය තුල වක්‍ර සහ නීවෘත වෙමින් පුරා මාස හතරක කාලයක් එනම් 2019 ජනවාරි 01 වනදා දක්වා සිකුරු තුලා රාශියේ චාරයේ යෙදෙනු ඇත.සිකුරුට ස්වක්ෂේත්‍ර සහ මූලත්‍රිකෝණ බල හිමිවන තුලා රාශියේ සිකුරු බලවත්වීම සිදුවේ.මෙම මාස හතර තුල සිකුරු ග්‍රහයා කුජට අයත් සිත නැකතේ සැප්තැම්බර් 09 වනදා දක්වා ගමන් කරන අතර එතැන් සිට රාහුට අයත් සා නැකත තුලට පිවිසේ.ඔක්තෝම්බර් 06 වනදා තෙක් රාහුට අයත් සා නැකතේ සිව්වන පාදය තෙක් ගමන් කරන සිකුරු ග්‍රහයා එතැන් සිට වක්‍රවීමට ලක්වේ.මෙසේ වක්‍රවන සිකුරු නැවත සිත නැකතේ තුන්වන පාදය තෙක් වක්‍රය සිදුවන අතර නොවැම්බර් 16 වනදා නැවත වක්‍රයෙන් මිදී නීවෘත වේ.මෙතැන් සිට සිකුරු ග්‍රහයා සිත නැකතේ තුන්වන පාදයේ සිට සා නැකතේ සිව්වන පාදය දක්වා දෙසැම්බර් 21 වනදා වන විට ගමන් කර අවසන්කර ගුරුට අයත් විසා නැකතට පිවිසේ.සිකුරු තුලා රාශියෙන් ඉවත්වන 2019 ජනවාරි 01 වනදා තෙක් ගුරුට අයත් විසා නැකත තුල සිකුරු ග්‍රහයාගේ ග්‍රහ චාරය සිදුවනවා ඇත.

මෙලෙස සිකුරු තුලා රාශිය තුල ගමන් කිරීම බොහෝ දුරට සියලු දෙනාට සුබඵල ඇතිකරවන සාධකයක් වන අතර මැයි 06 වනදා කුජ ග්‍රහයා මකර රාශිගතව ඇතිකල පීඩනයට සහනදායී බවක් මේ සමගම ඇතිවනු ඇති.මනුෂ්‍ය සහ සත්ව මානසිකත්වය තුලට සහනය සැනසීම සතුට ඇතිවනවා ඇති.මුහුණේ සතුට සිනහව ප්‍රබෝධය දකින්නට ලැබෙනවා ඇති.උත්සව අවස්තා සෑම තැනම නිතර දකිදකින්නට ලැබෙනවා ඇත.ප්‍රිති උත්සව , සම්භාෂණ පවතින සංගීත සංදර්ශන සැනකෙලි වැඩි වශයෙන් යෙදෙනා කාලයක් වනු ඇත.සෑම තැනම ජන සහබාගීත්වය වැඩි වශයෙන් ඇතිවේ.මංගල අවස්තා විවාහ මංගල අවස්තා පවතී.විවාහය ප්‍රමාදවූවන්ට පවා විවාහය සිදුවනු ඇත.නිසි වයසේ ගැහැණු ළමුණ් වැඩිවිය පත්වේ.සබදතා හිතමිත්‍රකම් වැඩි වශයෙන් ඇතිවේ.සංගීත කලා අංශයේ විවිධ කටයුතු නියැලි අය සදහා විශේෂයෙන් යහපත්වනවා ඇත.නව නිර්මාණ ඉදිරිපත්වනවා ඇත.නවකයන්ට අවස්තාව හිමිවනවා ඇත.ඕනෑම කටයුත්තක් තුල අභ්‍යන්තරික සාර්තකතාවයට වඩා බාහිර තත්වයන් ඔප්නන්වන ලෙස කටයුතු සූදානම්වේ.පන්සලේ පිංකමේ පවා අර්තයට ධර්මයට හෝ මෝක්ෂයට දායක වන තත්වයන්ට වඩා කාමය මතුවන බාහිර ඔපයන් ස්මතුවනවා ඇත.

වායු ගෝලයේ සිසිල් වීමක් ඇතිවන අතරම අවාරයට අස් ඵලබර වනු ඇත.අවාරයට පළතුරු මල් ආදිය හටගන්නවා ඇත.පරාගනය ව්‍යාප්තිය වේගවත්වේ.පුද්ගල සත්ව මානසික තත්වයන් තුලද කාමරාගී සිතුවිලි වර්ධනය වේ.සත්වයාගේ බෝවීම වැඩිවනවා ඇත.කළියුගයේ සියලු ගුණයන් වර්ධනය වීමක් සිදුවන අතර ආධ්‍යාත්මක සුවය සොයනා අයට බාධක කාලයක් වනවා ඇත.එමෙන්ම කාම ලෝකයේ සුවය සැනසීම සොයනා අයට යහපත් කාලයක් වනවා ඇත.පරිබෝජනය වැඩිවන අතරම ක්ෂයවීම වේගවත්වේ.සැප රෝගයන් හෙවත් අධි සැපය මූලික වීමෙන් ඇතිවන රෝග වැඩිවීමක් සිදුවේ.එකි මෙකී නොකී , කළියුගයට ගෝචර සියලු තත්වයන්ගේ වර්ධනාත්මක බවක් සමස්තය තුල සිදුවෙමින් පවතිනවා ඇත.........මෙවැනි සියලු තත්වයන් මත මේෂයේ සිට මීනය දක්වා වූ ලග්න දොලොසින් උපන් ඔබට සාපේක්ෂ වශයෙන් පහත ප්‍රතිඵලයන්ට මුහුණ දීමට සිදුවනවා ඇත.

මේෂ ලග්නය

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්නට සිකුරුගේ පැමිණීම සිදුවේ.ප්‍රේම සබදතා පවත්නා අයට මෙම කාලය එතරම් යහපත් නැත.සබදතාවය සම්බන්ධව මතබේධාත්මක තත්වයන් මතුවීමට අවස්තාව සහිතය.විවාහක අඹුසැමියන් අතර පවත්නා සබදතා යහපත්වේ.ගැටලුකාරී තත්වයන් පැවතියේ නම් ඒවා නිරාකරණයකරගැනීමට අවස්තාව සැලසේ.පවුලේ සමගිය ඇතිවේ.ලැබීම් ඇතිවේ.මිල මුදල් ආර්තික තත්වයත් රැකියාව සම්බන්ධ තත්වයනුත් යහපත් වනවා ඇත.සමාජ සබදතා ඇතිවන සමාජසේවා ආදී කටයුතු සදහා ඉදිරිපත්වන කාලයකි.නව හිතමිත්‍ර සබදතාවයන් ඇතිවේ.විවාහ බලාපොරොත්තුවෙන් සිටි අයට විශේෂ යෝජනා ලැබෙනා කාලයකි.නව සබදතාවයන් ඇතිවනවා ඇත.දිගු කාලයක් පවත්වාගෙන යා හැකි ආකාරයේ සබදතා ආරම්බවන කාලයකි.ගමන් බිමන් යෙදේ.විදෙස්ගතවීම් ආදී බලාපොරොත්තු පැවතියේ නම් ඒවා ඉටුවේ.සහෝදර සහෝදරියන් සමගද අසල්වැසියන් සමගද යහපත් සබදතා ඇතිවේ.අමනාපයෙන් සිටි අය මිත්‍රවේ.උත්සව අවස්තා යෙදෙනවා ඇත.අලුත් දේ , වටිනා දේ මිලදී ගැනීමට අවස්තාව සැලසෙනවා ඇත.

වෘෂභ ලග්නය

ලග්නාධිපතියා බලවත්වීමේ සුබ ගුණය ඇතිකරයි.නමුත් ස්තානයක් වශයෙන් සතුරු ස්තානයේ වෙයි.මේ හේතුවෙන් තදබල අයහපතක් නොවී ඇතිවන සුබ තත්වයන් තරමක් දුරට වැලකීම සිදුවෙයි.මෙතෙක් පැවති අසුබකාරී තත්වයන්ට තරමක සහනයක් යෙදෙනවා ඇත.ශරීරයේ මුහුනේ ප්‍රබෝධමත් බවක් ඇතිකරයි.නව සබදතා හිතවත්කම් ඇතිවේ.නමුත් ඇතිවන සබදතා ආදිය වැඩිකාලයක් පවත්වාගෙන යාම අපහසුවේ.ප්‍රේම සබදතා ආදිය බිදවැටිය හැක.එසේ වන්නේ විශේෂ නින්දාවක් , අපහාසයක් හෝ පාඩුවක් අලාබයක් සමග විය හැක.කාම රාගී තත්වයන් වර්ධනය වන කාලයක් වන අතරම එවැනි තත්වයන් හරහා නොසිතූ ගැටලු අවසාන වශයෙන් ඇතිකරයි.මිතුරාම සතුරු කම් කරනා කාලයකි.තමාගේ වටිනාකම් කිසියම් ප්‍රමාණයකට අඩුවන , බිදවැටෙන කාලයකි.තත්වය ගෞරවය ආරක්ෂාවන ලෙස කටයුතු කිරීම යහපත්වේ.රහස් හෙළිවීමක් සිදුවිය හැක.ඇදුම් පැලදුම් ආදිය මිලදී ගැනීමට හැකිවන නමුත් එසේ වන්නේ පැවති ඇදුම් පැලදුම් ආදියේ සිදුවන හානි , කිරීම් ආදී හේතු නිසා විය හැක.ආහාර රුචිය වර්ධනය වනවා ඇත.එම නිසා ආහාර මූලික කරගත් රෝගාබාධයන් මතුවනවා ඇතිවනවා ඇත.ශුක්‍ර විසවීම් , මුත්‍රා විසවීම් ආදියට අවස්තාව සහිතයි.සහකරුගේ හෝ සහකාරියගේ සෞඛ්‍ය තත්වයටද මෙම සිකුරු තුලා රාශිගතවීම හරහා අසුබ බලපෑම් ඇතිකරයි.

මිතුන ලග්නය

මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්නේ සිකුරුගේ බලවත්වීම සිදුවේ.යෝගකාරක ග්‍රහයාගේ බලවත්වීම සුබ ස්තානගතව සිදුවීම හරහා ඉදිරි මාස හතරක කාලය මිතුන ලග්නයෙන් උපන් ඔබට සුබදායකවේ.මෙතෙක් පැවති මුදල් සහ ආර්තික තත්වයන්ගේ ගැටලු විසදා ගැනීමට අවස්තාව සැලසේ.මුදල් ලාබ ලැබෙනවා ඇත.තමාගේ නම , ගුණ ප්‍රසිද්ධවේ.සමාජයේ වටිනාකම් ගොඩනගා ගැනීමට අවස්තා සැලසෙනවා ඇත.සංගීත කලා , ක්‍රීඩා අංශයේ දක්ෂතා වර්ධනය වන ප්‍රසිද්ධියට අවස්තාව හිමිවන කාලයක්වේ.නව සබදතා හිතවත්කම් ඇතිවේ.ප්‍රේම සබදතා ඇතිවේ.සතුටට ප්‍රීතියට අවස්තා ලැබෙනවා ඇත.සංචාරක ගමන් යෙදෙනවා ඇත.මින් පෙර නොගිය ස්තානයන්ට යාමට ඒමට ලැබෙනවා ඇත.තම පවුලේත් හිතමිත්‍රයන් අතරේත් තමාගේ සමාජයේත් පිළිගැනීමට ලක්වේ.හවුල් කටයුතු ව්‍යාපාර ආදියට සුබවේ.සූදුවෙන් ජය හිමිවේ.කෙසේ වෙතත් වැඩි වශයෙන් වියදම් දැරීමට සිදුවේ.වැඩියෙන් වියදම් සිදුවන්නේ වියදමේ තරමට ලැබීමක්ද සහිත කාලයක් නිසාවේ.විවාහ බලාපොරොත්තුවෙන් සිටි අයගේ එම බලාපොරොත්තු බොහෝ දුරට ඉදිරි මාස හතර තුලදී ඉටුවිය හැක.නොයෙක් ආකාරයෙන් යහපත් තත්වයන් සිකුරු හරහා මිතුන ලග්න හිමියන්ට ඉදිරියේ ඇතිවේ.

කටක ලග්නය

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් සිව්වැන්නට පැමිණෙන සිකුරු සුබඵල ඇතිකරයි.මෙතෙක් ප්‍රමාදවෙමින් , නැවතී පැවති වැඩකටයුතු නැවත ආරම්බ වනවා ඇත.නිවාස දේපල සම්බන්ධ කටයුතු සිදුවනවා ඇත.නිවසක් ඉදිකරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි අයට , එයට කිසියම් ආකාරයක හෝ යහපත් ක්‍රියාත්මක වීමක් ඉදිරි මාස හතරක කාලය තුල ඇතිවනවා ඇත.රැකියාව ආදායම් තත්වය යහපත්වේ.නිවසේ පදිංචි ස්තානයේ කල එලිය ඇතිවන අතරම ඤාතී හිතමිත්‍රයන්ගේ පැමිණීමද සිදුවන කාලයකි.අමනාපයෙන් සිටි අය නැවත මිත්‍රවන උත්සව අවස්තා ආදියට ආරාධනා ලැබෙන කාලයකි.නව ඇදුම් පැළදුම් මිලදීගන්නවා ඇත.සංචාරක අවස්තා යෙදෙනවා ඇත.දුර බැහැර ගමන් බිමන් බොහෝවිට යෙදිය හැක.එමෙන්ම තමාගේ පැරණි හිතමිත්‍රයන්ගේ නැවත හමුවීමක් සිදුවීමටද බිදවැටී පැවති සබදතා නැවත ආරම්බවීමටද අවස්තාව පවතී.විවාහ බලාපොරොත්තු ඉටුවන නව යෝජනා ආදිය පැමිණෙන , ඒවා ස්තිර වන කාලයකි.මව්ගෙන් උදව් උපකාර ලැබෙනවා ඇත.පවුලේ සමගිය එකමුතුව ඇතිවනවා ඇත.

සිංහ ලග්නය 

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් තුන්වැන්නට සිකුරුගේ පැමිණීම සිදුවේ.යහපත් කාලයකි.බාහිර ලිංගිකයන්ගේ සතුරුකමට ලක්විය හැකි නමුත් සතුරා දිනා ගැනීමේ හැකියාව ලැබේ.අමනාපයෙන් සිටි අයගේ එක්වීමක් සිදුවනවා ඇත.සහොදර සහෝදරියන් අතර හොදහිත වර්ධනයවේ.උදව් උපකාර ලැබේ.සහෝදර සහෝදරියන්ටද යහපත් කාලයකි.ඔවුන්ට සැප ලැබෙනවා ඇත.අසල්වැසි සබදතාවයන් වර්ධනය වනවා ඇත.කෙටි ගමන් බිමන් නිතර යෙදේ.අසල්වැසි මිත්‍ර සබදතාවයක් හිටි හැටියේ වර්ධනය විය හැකිය.එමෙන්ම ප්‍රේම සබදතාවයන්ටද අවස්තාව පවතින අතර එයද වැඩි දුරක නොවනවා ඇත.නව ඇදුම්පැලදුම් ගැනීම , නව දේ මිලදී ගැනීම ආදිය සිදුවේ.තමාගේ වටිනාකම වර්ධනය වන කාලයක් උවත් රැකියාව තුල තමාගේ වගකීම් මගහැරෙනවා ඇත.රැකියාව හේතුවෙන් තමාගේ සතුටට සහ නිදහසට යෙදෙනා අවස්තා මගහැරීමක් සිදුවීමටද අවස්තාව පවතී.ප්‍රිය සංවාද නිතර ඇතිවේ.නිතර කතාබහට විශේෂ අයෙකු , අමුත්තෙකු හමුවනවා ඇත.ලියකියවිලි ගනුදෙනු සිදුවනවා ඇත.මුහුණේ ලප කැලැල් මතුවේ.කුරුලෑ , ගෙඩි වැනි තත්වයන් මතුවිය හැක.උගුරේ බෙල්ලේ , දිවේ අසනීප ඇතිවේ.

කන්‍යා ලග්නය

කන්‍යා ලග්නයෙන් උපන් ඔබට විශේෂ යහපත් කාලයක් සිකුරු තුලාවේ ගමන් කරනා කාලය තුල ඇතිකරයි.මිල මුදල් ආර්තික තත්වය යහපත්වේ.ආදායම් ලැබේ.ආදායම් වැඩිවේ.අමතර ආදායම් මගින් ලාබ ලැබෙනවා ඇත.මුදල් ප්‍රමාදයන් ආදිය සිදුවෙමින් පැවතියේ නම් ඒවා නැවත ලැබෙනවා ඇත.හවුල් කටයුතු ව්‍යාපාර ආදියට සුබදායකවේ.පවුලේ සමගිය සාමය වර්ධනය වන අතරම පවුලේ දියුණුවද ඇතිවනවා ඇත.සෑම දෙනා අතරම ප්‍රිය මනාප බවක් , පිලිගැනීමක් වටිනාකමක් හිමිවන කාලයක්වේ.විවාහයට අවස්තාව ලැබේ.ප්‍රේම සබදතා ඇතිවේ.කම්සැප ලාබ හිමිවේ.උත්සව අවස්තා යෙදේ.ගමන් බිමන් සංචාරක අවස්තා යෙදේ.රැකියා බලාපොරොත්තුවෙන් සිටියේ නම් රැකියාවක් ලැබෙනවා ඇත.විදෙස්ගතවීමට සිටියේ නම් එම අවස්තා කඩිනම් වනවා ඇත.තම අලංකරනය සදහා , රූපය වෙනුවෙන් වියදම් කිරීමට සිදුවේ.නව ඇදුම් පැලදුම් , ගෘහ භාණ්ඩ මෙන්ම රත්‍රං ආභරණාදිය මිලදී ගැනීමේ අවස්තා හිමිවන කාලයකි.පවුලේ ඤාතී සබදතාවයන් යහපත්වන අතර පවුලට නව සාමාජිකයන් එක්වනවා ඇත.යහපත් කාලයකි.

තුලා ලග්නය

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයට සිකුරුගේ පැමිණීම සිදුවන අතර ලග්නාධිපතියා ලග්නයේ සුබ බල ලැබීම සිදුවේ.ජීවිතයේ එක්තරා විශේෂ යහපත් ප්‍රිතිමත් කාලයක් මේ සමගම ආරම්බවේ.සිතේ පැවති අසහනකාරී තත්වයන්ට සහනයක් ලැබෙනවා ඇත.රෝගාබාධ පැවතියේ නම් බොහෝ දුරට සුවපත් වනවා ඇත.අමනාපයෙන් දුරස්තාවයෙන් සිටි අය හා සමග නැවත සබදතා හිතවත්කම් ඇතිවනවා ඇත.තම සිතේ නව බලාපොරොත්තු ඇතිවේ.මෙතෙක් පැවති බලාපොරොත්තු කිහිපයක් ඉටුවීමේ අවස්තා පවතී.නව හිතමිත්‍ර සබදතා ඇතිවෙයි.විවාහ අපේක්ෂිතයෙකු නම් විශේෂ මංගල යෝග ක්‍රියාත්මක වනවා ඇත.සියලුදෙනා අතර පිලිගැනීමට ලක්වේ.කැපීපෙනේ.තමාට සම්බන්ධ කිට්ටුම ඤාතී හිතමිත්‍රයන්ගේ උත්සව අවස්තාවන්ට ආරාධනා ලැබේ.පේම සබදතාවයන් ඇතිවේ.ඒවාට යහපත්වේ.නිවසේ පරිසරයේ අලංකරනය සදහා සිත යොමුවේ.නිවසට අමුත්තන් ඤාතී මිත්‍රයන් පැමිනේ.ගමන් බිමන් සංචාරක අවස්තා යෙදේ.තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම මාස හතරක කාලය විශේෂ යහපත් බවක් ඇතිවනවා ඇත.උප්පත්ති ග්‍රහ පිහිටීම් සහ සිකුරුගේ අයිතීන් මත තත්වයන් ක්‍රියාත්මක වනවා ඇත.

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොලොස්වැන්නට සිකුරුගේ පැමිණීම සිදුවේ.මෙම යෙදීම අනුව ඔබට ඉදිරි මාස හතරක කාලය සුබාසුබ මිශ්‍රඵල ඇතිකරනු ඇත.විශේෂයෙන් විවාහය සම්බන්ධව යම් යම් විශේෂ ගැටලුකාරී තත්වයන් ඇතිවීමට අවස්තාව සහිතය.විවාහ දිවියේ ගැටලු බාධක ආරවුල් සහිතව කාලය ගතකරන අඹුසැමියන් විශේෂයෙන් සැලකිලිමත්විය යුතුවේ.තමා තුලින්ම දැනුවත්වම වැරදි සිදුවිය හැක.තත්වය ගෞරවය විස්වාසය බිදවැටෙනා සිදුවීම් වලට ලක්විය හැක.තරුණියන් විශේෂයෙන් පෙළබවීම් වලින් ආරක්ෂාවිය යුතුය.තරුණයන් ඇබ්බැහිවීම් වලින් ආරක්ෂා විය යුතුය.පුද්ගල මානසිකත්වයේ කාම රාග ගති වර්ධනය වන කාලයක් හේතුවෙන් සතුට පසුපස විශේෂ ගැටලු ඉදිරි මාස හතරක කාලය පුරාවට ඔබට ක්‍රියාත්මකවිය හැක.අනවශ්‍ය වියදම් සිදුවන කාලයක් වන අතර ඉතිරියට තදින් බිදවැටේ.ඔබටද උත්සව අවස්තා සංචාරක අවස්තා ආදිය යෙදෙනා අතර ඒවා වෙනුවෙන් මුදල් ණයට ගෙන හෝ වියදම් කරනවා ඇත.සතුටට ප්‍රිතියට මුල්තැන හිමිවන අතර බුද්ධිය යටපත්වීමක් සිදුවේ.ඉදිරි මාස හතරක කාලයෙන් ඔක්තෝම්බර් 10 වනදා ගුරු ලග්නගතවන තෙක් කාලය ඉහත තත්වයන් සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත්ව කටයුතු කිරීම යහපත්වේ.

ධනු ලග්නය

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් එකොලොස්වැන්න හරහා ඉදිරි මාස හතර පුරාවට සිකුරුගේ ගමන යෙදේ.එකොලොස්වැන්න තුල සිදුවන බලවත්වීම සුබපලදායකවේ.නමුත් මූලිකව ඇතිවන සුබයැයි සිතනා , සිතෙනා සිදුවීම් පසුකාලීනව හදිසි ගැටලු , නොසිතූ ගැටලු ආදීයට හේතුවිය හැක.මෙම පලාපල ඒ හා සමග සසදාගත යුතුය.නව හිතමිත්‍ර සබදතා ඇතිවේ.අලුත් පිරිසක් සමග ආශ්‍රය ඇතිවනවා ඇත.සුදුසු වයසේ නම් ප්‍රේම සබදතා ආදිය ඇතිවනු ඇත.එවැනි සිදුවීම් හරහා සිතට මහත් සතුටක් සැනසීමක් ඇතිවේ.විවාහය ප්‍රමාද වූ අයගේ විවාහය ඉක්මන් වනවා ඇත.යෝජනා පැමිණේ.හදිසි විවාහයක් සිදුවිය හැකිය.පවුලට නව සාමාජිකයන් එක්වනවා ඇත.දරුඵල ලාබ බලාපොරොත්තු වූවේ නම් ඒ අවස්තාවන් හිමිවනවා ඇත.අලුත් ඇදුම් පැළදුම් , වටිනා දේ , අලංකරනයට දෑ මිලදී ගැනීමට අවස්තාව ලැබේ.උත්සව අවස්තා සංචාරක ගමන් යෙදේ.ආදායම් ලැබීමක් සිදුවන කාලයකි.මැණික් , රත්‍රං ආදී ව්‍යාපාරිකයන්ටත් , රූපලාවන්‍ය ආදී කටයුතු කරනා අයටත් , මල් වගාකරුවන්ටත් , හෝටල් හිමියන්ටත් .... සුබදායක කාලයකි.විශේෂ ලාබ ලැබේ.තමා කැපීපෙනේ.වටිනාකම වැඩිවේ.උසස් පුද්ගලයන්ගේ ඇසුර , උදව් උපකාර ලැබෙනවා ඇත.නමුත් රැවටීම් , මුලාවීම් , අගෞරවය ඇතිකරගැනීම් ආදියත් හදිසි තීරණ නිසා දීර්ඝ ගැටලුත් මතුවීමට මෙම කාලය තුල සිදුවිය හැක.

මකර ලග්නය 

මකර ලග්නයෙන් දහවැන්නට සිකුරුගේ පැමිණීම සිදුවේ.යහපත්වේ.රැකියාවට යහපත්වේ.රැකියාව පිලිබදව උසස්වීම් බලාපොරොත්තුවෙන් සිටියේ නම් හෝ ඉල්ලුම් කිරීමට සිටියේ නම් එයට යහපත් සහ සුබදායක කාලයක්වේ.ප්‍රධානීන්ගේ උදව් උපකාර , මගපෙන්වීම් හිමිවනවා ඇත.නව රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයගේ එම බලාපොරොත්තු ඉටුවනවා ඇත.ගෙදර දොර තත්වය යහපත්වේ.අලංකරනයට කටයුතු සිදුවනවා ඇත.ඒවා සම්බන්ධව වියදම් දැරීමට සිදුවනවා ඇත.මව පියා සමගත් පවුලේ සාමාජිකයන් සම්බන්ධවත් යහපත් කාලයක් වන අතර අමුත්තන්ගේ ඤාතීන්ගේ පැමිණීම සිදුවනවා ඇත.මිලමුදල් ලාබ ලැබෙන අතර හවුල් කටයුතු ව්‍යාපාර , බ්‍රොකර් කටයුතු ආදියෙන් ලාබ අපේක්ෂාකල හැකිය.දරු දැරියන් සම්බන්ධව උත්සව අවස්තා හෝ සතුටට ප්‍රිතියට අවස්තා යෙදෙනවා ඇත.ගමන් බිමන් සංචාරක අවස්තා යෙදේ.නව හිතමිත්‍ර සබදතා ඇතිවේ.පැරණි හිතමිත්‍රයන්ගේ හමුවීම පැමිණීම සිදුවේ.විවාහයටත් ප්‍රේම සබදතාවයන්ටත් යහපත් වන අතර පුද්ගලික දියුණුවට සුබදායක කාලයක්වේ.

කුම්භ ලග්නය

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් නමවැන්නට සිකුරුගේ පැමිණීම සිදුවේ.සුබදායකවේ.වැඩිහිටියන්ගේත් උසස් අයගේත් උදව් උපකාර ගරු සැලකිලි හිමිවනවා ඇත.තෑගි බෝග හිමිවන හෝ නව ඇදුම් පැලදුම් ආදී අලංකරන දෑ ලබාගන්නා කාලයක්වේ.ආදායක් යහපත්වේ.මානසිකත්වය යහපත්වේ.සතුට ප්‍රිතිය සැනසීම ඇතිවේ.දෙවියන් කෙරෙහි භක්තිමත්වනවා ඇත.පිනට ලැදීවේ.පරිත්‍යාගයන් සිදුකරනා කාලයකි.සමාජීය වශයෙන්ද පවුලක් වශයෙන්ද පිලිගැනීමට ගෞරවයට ලක්වනවා ඇත.තම දක්ෂතා හැකියාවන්ගෙන් තම නම ප්‍රසිද්ධවන කාලයකි.කලා කටයුතු වල නියුතු අයට හෝ කලාව මූලික කරගත් තරග විභාගයන්ට මුහුණ දෙන අයට යහපත් ප්‍රතිඵල ලැබෙනවා ඇත.හිතමිත්‍ර ලාබ ලැබේ.විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂනයට ලක්වේ.ප්‍රේම සබදතා ඇතිවේ.විවාහ අප්‍රේක්ෂිත නම් විවාහයට මග සැලසේ.උසස් යහපත් යෝජනා ලැබේ.දරුඵල බලාපොරොත්තු වූවේ නම් වාසනාවන්ත පිලිසිදගැනීම් සිදුවනවා ඇත.දේපල මිලදීගැනීමකට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා විශේෂ අවස්තාවන් හිමිවේ.කුම්භ ලග්නයෙන් උපන් ඔබට සිකුරු ග්‍රහයා හරහා ඉදිරි මාස හතරක කාලය සුබඵල ඇතිකරයි.

මීන ලග්නය 

මෙතෙක් පැවති සැපය සනීපය තත්වය ගෞරවය සම්බන්ධ ගැටලුකාරී තත්වයන්ට සහනදායී බවක් ඇතිවේ.රෝගී තත්වයන් පැවතියේ නම් සුවය ලැබේ.හිතමිත්‍ර ලාබ සහ ඔවුන් හරහා ලාබ ප්‍රයෝජන ලැබෙනවා ඇත.ගෙදර දොර දියුණුවට අවස්තාව සැලසේ.වටිනා දේ මිලදී ගැනීමට අවස්තා සැලසේ.අඹුසැමි සබදතා යහපත්වේ.ප්‍රිතියට සතුටට අවස්තා සැලසේ.වන්දනා ගමනක් සංචාරක ගමනක් යෙදෙනවා ඇත.උත්සව අවස්තා යෙදේ.ආදායම් යහපත්වේ.මුදල් ලැබීමක් පැවතියේ නම් ඒවා ප්‍රමාදයෙන් තොරව හිමිවන අතර අමතර ලාබ ප්‍රයෝජන ලැබිය හැකිය.උදව් උපකාර හිමිවේ.ලියකියවිලි හරහා තමාට වාසිවන සිදුවීම් කරගැනීමට පැවතියේ නම් ඒවාට යහපත් කාලයකි.අසල්වැසි සබදතා සහ සහෝදර සබදතාවයන් ශක්තිමත්වනවා ඇත.ඔබන් සම්බන්ධ සුබ කටයුතු වලට සම්බන්ධවීමට අවස්තාව සැලසෙනවා ඇත.එමෙන්ම ප්‍රේම සබදතා ඇතිවන විරුද්ධ ලිංගිකයන්ගේ උදව් උපකාර පිලිගැනීම හිමිවන කාලයක්වේ.ඔබට උදව් කිරීමට් බොහෝ පිරිසක් සූදානම්ව සිටිනා කාලයකි.එමෙන්ම විශේෂ අමුත්තේකුගේ හමුවීමක් සිදුවිය හැකිය.කාම රාගී තත්වයන් වර්ධනය වන අතර ඒවා හරහා ගැටලුකාරී තත්වයන් මුල් මාස දෙක තුල ඇතිවිමට අවස්තාව පවතී.

ජනක පී කුමාර

හදහන ලංකා ජ්‍යෙතිෂය සේවය