විභීෂණ හෙවත් "බියකරු පෙනුමක් ඇත්තා" ලෙස නම් ලද විභීෂණ දෙවිඳු මෙරට මුල් පදිංචිකාර ගෝත්‍රයක් ලෙස සැලකෙන යක්‍ෂ ගෝත්‍රයේ ඉපිද දේවාත්මයක් ලැබූ ජන නායකයෙකි. කැලණිය පුරවරයත්, කැලණි වෙහෙරත් සුරකිමින් වැඩ වෙසෙන විභීෂණ දෙවියෝ හෙළ බිම රන් බිමක් බවට පත්කළ ලොව දස දිග් භාගයම ශූරත්වයෙන්, වීරත්වයෙන්, රණකාමිත්වයෙන් සටන් කොට කිතුගොස පතුරුවාලූ රාවණයන්ගේ බාල සොහොයුරාය. නිල්වන් සිරුරක් ඇති විභීෂණ දෙවිඳුන්ට රතු පැහැති දෑසක්‌ද, තද රතුවන් පුළුල් දෙතොලක්‌ද, මුඛයෙහි දෙකෙළවරින් පිටතට විහිදුණා වූ දළ යුග්මයක්‌ද, ගණ රෝමයන්ගෙන් ගැවසී ගත්තා වූ පුළුල් ළය මඬලක්‌ද, ශක්‌තිමත් බාහු යුග්මයක්‌ද හිමිය. උත්තුංග රූපකායකින් හෙබි උන්වහන්සේ ත්‍රිශූලයක් සහ තෝමරයක් අත දරමින් තුරඟ වාහනාරූඪව වැඩ සිටී.
පුරාණයේ මෙරට ධ්‍යාන බලයෙන්ද, දිව්‍ය ඥන ශක්‌තියෙන්ද බල සම්පන්නව වැඩ විසූ විශ්‍රවස් නම් මුණිවරයාට බිරින්ඳෑවරුන් තිදෙනෙක් සිට ඇත. එයින් පුෂ්පොකටා රාක්‍ෂ කුමරිය විශ්‍රවස්‌ට දාව රාවණා හා කුම්භකර්ණ යන පුතුන් දෙදෙනාද, මාලනී නම් රාක්‍ෂ කුමරිය විභීෂණ කුමරුද, නෛකෂා නම් කුමරිය කුවේර හෙවත් වෛශ්‍රවණද, සුපර්ණකා නම් දියණියද බිහිකර ඇති අතර කුවේර හා සුපර්ණකා හැරෙන්නට අනෙක් සියලු දෙනා උග්‍ර ව්‍රDත සමාදන්ව මහා බ්‍රහ්මයාගෙන් විවිධ වර ඉල්ලා ඇත.
රාවණාගේ ඉල්ලීම වූ අනභිබවනීයත්වය ලැබූ රාවණයෝ දස දිග යටත්කොට විජය ධජ ළෙලවූහ. කුම්භකර්ණයන් කිසි දෙයකට ඇළුම් නොකළ බැවින් ඔහුට ජීවිත කාලයෙන් අඩක් නිද්‍රාවට පත්වී සිටීමේ වරය බ්‍රහ්මයාගෙන් ලැබිණි. විභීෂණයෝ ශිල්පයත්, ඥනයත් ඉල්ලා සිටි බැවින් ඔහුට එය ලැබිණි. එබැවින් විභීෂණයෝ රණ ශූරත්වයෙන් නොව තීක්‌ෂණ ඥනයෙන් සතුරන් පරදවා ලූහ.
ලංකා පුරවරයෙහි රාම - රාවණා අතර පැවැති යුද ගැටුම් තීරණාත්මක මොහොතකට එළැඹ තිබූ අවස්‌ථාවක රාම කුමරු රාවණා රජුගේ සොයුරු විභීෂණයන් සමග රහස් සම්මුතියක් ඇති කරගෙන තිබූ බැව් කියෑවෙන අතර එකී සම්මුතියට අනුව විභීෂණයෝ සිය සොයුරු රාවණට එරෙහිව යුද වදින්නට පටන් ගෙන ඇත. ලංකා පුරවරයේ සියලු යුද රහස් රාවණාට හෙළිකරමින් විභීෂණ රාමාට පක්‍ෂ වූ නිසා අසමසම රණශූරයකු වූ රාවණා රජුගේ සේනාවන්ට පසුබසින්නට සිදුවිය. අවසානයේ රාවණා රජු නසා දමා ලංකාපුරය අත්පත් කරගත් රාම කුමරු විභීෂණයන් ලංකාධීශ්වරයා ලෙස ඔටුනු පැළැන්දවූහ.
රාවණා රජුගේ ඇවෑමෙන් ලංකාපුරයේ අධිපති බවට පත් විභීෂණ කැලණිය තම රාජධානිය කොට ජීවත් වූ බවත් ඉනික්‌බිති මිය පරලොව ගොස් දේවත්වයට පත්ව ඇති බවත් ජනතා විශ්වාසයයි.
බෞද්ධ ඉතිහාසයේ සතර වරම් දෙවිවරුන් ලෙස හැඳින්වෙන ධ්‍රැතරාෂ්ඨ්‍ර, විරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවණ යන දෙවිවරු අතර වෛශ්‍රවණ දෙවිඳු විභීෂණ දෙවිඳුගේ සොහොයුරා බවත් කලෙක විභීෂණ දෙවිඳු සතර වරම් දෙවියන්ට ඇතුළත්ව සිටි බවත් පසුව තමන්ගේ සොයුරු වෛශ්‍රවණ ඊට ඇතුළත්ව ඇති බවත් කියෑවෙන අතර ක්‍රි.ව. 1344 දී ලියෑවී ඇති ලංකාතිලක ශිලා ලිපියෙන් සතරවරම් දෙවිවරුන්ගේ රූප අතර විභීෂණ දෙවියන්ගේ රුවද නෙලා තිබීමෙන් එම මතය වඩාත් තහවුරු වේ.
විභීෂණ දෙවිඳුන් ඇදහීම ලංකාවේ කුමන කාලයක සිට ආරම්භ වූවාද යන්න නිශ්චිතවම කිව නොහැකි වුවද පොළොන්නරු යුගයේ රජකළ මහා විජයබාහු රජුගේ දියණිය රත්නාවලී කුමරියට මානාභරණ කුමරුට දාව පුත් කුමරුවෙක් ලබා ගැනීමේ අදිටනින් විභීෂණ දෙවිඳු වෙත වූ බාරයක් ඉෂ්ට වීමෙන් පරාක්‍රමබාහු නමින් කුමරුකු උපන් බවත්, එලෙස උපන් කුමරු පසු කලෙක ලක්‌බිම රජකළ මහා පරාක්‍රමබාහු නම් නරපතියා වූයේය.
මේ අනුව කෝට්‌ටේ යුගය වන විට "විභීෂණ" ඇදහීම
ශ්‍රී ලාංකීය ජනතාව අතර බෙහෙවින් ප්‍රචලිතව තිබූ බව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ බලකොටුවෙහි පවුර මුදුනේ පවා නිශ්ශංක අලකේෂ්වරයාණන් විසින් තනනු ලැබූ විභීෂණ දෙවොලක් තිබීමෙන් මනාව පැහැදිලි වේ.
ලාංකීය දේව මණ්‌ඩලයේ දෙවිවරුන් අතර සිටින අප ලක්‌බිමේ සැබෑ උරුමක්‌කාරයකු ලෙස හැඳින්විය හැකි විභීෂණ දෙවිඳුන් කැලණි පුරවරයක්, කැලණි විහාරයත් ආරක්‌ෂා කරමින් එම විහාරයේ විභීෂණ දෙවොලට අධිගෘහිතව මහා බලසම්පන්නව වැඩ වාසය කරමින් උන්වහන්සේගෙන් සෙත සහනය පතා එන අසරණ ජනතාවගේ දුක්‌ගැහැටවලට පිළිසරණ වෙමින් සෙත සලසන අති උතුම් දේව ආත්මයක් බැවින් ඔබටද ඔබේ දුක් කරදර හමුවේ ඕනෑම අවස්‌ථාවක උන්වහන්සේගේ පිහිට පැතිය හැකිය.
විභීෂණ නමස්‌කාර ආරාධනාව
ශ්‍රී ලංකා ධරණී තල රක්‍ෂණ ප්‍රභාවං
ශ්‍රි කෘෂ්ණා දේවේන්ද්‍ර මිත්‍ර භාවනීයං
රාක්‍ෂය ගොත්‍රාධීපති විභීෂණාභිධානං
ශ්‍රී ධර දේවේන්ද්‍ර පුෂ්ප ආසන ප්‍රවිෂ්ඨං
ශ්වේත තුරංගම වාහන නිත්‍යං
දක්‍ෂිණ ශ්‍රී හස්‌තේසි පත්‍රක යුක්‌තඃ
රාවණා ශ්‍රි ලංකාධීෂ්වර භාතෘඃ
පාද පත්ම නමස්‌තුතේ විභීෂණ නාමඃ
විභීෂණ දේව ශාන්තිය
රාම කුමාර වරො අවතාරං
ලක්‍ෂ්මන ජානකි රාජිත ධාරං
කාලික පූජක තුෂ්ටි උදාරන්
ශාන්ති දදාතු විභීෂණ දේවං
දේව මනුෂ්‍ය නමස්‌කෘත පාදං
නීල ශරීරො දසමුඛ භාතෘඃ
රාක්‍ෂ නරස්‍ය වාරො මහා ප්‍රාෙඥ
සෞඛ්‍ය දදාතු විභීෂණ දේවං
රාක්‍ෂම ගොත්‍රජ කේෂ සුනීලො
රක්‍ෂ කුලම්බර පූර්ණ ශෂීවන්
තීක්‍ෂණ ඥනවරො සත් කීර්තිං
රක්‍ෂ තුරානං විභීෂණ දේවං
ආයත පීනක හස්‌ත දෙපාදො
කණ්‌ඨ ප්‍රදේශ්ෂ ලිෂ්ඨ§ත ශංඛං
ලද්ධ නිබන්ධා රක්‍ෂක ලංකා
ශාන්ති දදාතු විභීෂණ දේවං
දක්‍ෂ විචක්‍ෂණ බුද්ධි උදාරො
චින්තන ධාරණ සත්‍ය ගුණංගඃ
උත්තම චන්දන මාන නිබද්ධා
ශාන්ති දදාතු විභීෂණ දේවඃ
නාග මනුෂ්‍ය සුරා සුර රක්‍ෂා
තේජ සමායුෂ කීර්ති කදම්භ
ඥන විශාරද බුද්ධි විශේෂං
රක්‍ෂතු ආතුර විභීෂණ දේවඃ
ශ්‍රී ඝන ධර්ම තථාගත පුත්‍රං
පුෂ්ප සුගන්ධක මාල ප්‍රදීපං
හායන දර්ෂි විචක්‍ෂණ බුද්ධිං
ශාන්ති දදාතු විභීෂණ දේවං
පිංදෙන ගාථා
කල්‍යාණ පුරේ රම්මෝ
තුරංග වාහනේ බලී
විභීෂණ විහයෝ දේවෝ
ඉදං පුඤ්ඤානුමෝදතු ·
ලංකාය පශ්චිම දිශාය ප්‍රධාන භූතෝ
දෙවිද්ධි තුංග බලවික්‍රම භුරි තේජෝ
අමිභෙහි සංචිත මිදං කුසලං පහට්‌ඨො
පුඤ්ඤානුමෝදතු විභීෂණ දේවරාජා
විභීෂණ කන්නලව්ව
මහා තේජෝ බලපරාක්‍රමයෙන් යුක්‌තව ගුණ ධාරා වගුරවමින් කැලණි වෙහෙර වහන්සේට, කල්‍යාණි නදී මණ්‌ඩලයට දිවැස් හෙළමින් අසාධාරණයට අත්බැට දෙමින් රක්‌ත වර්ණයෙන් බැබැළෙන්නා වූ නේත්‍රා දසත විහිදුවමින් නීල වර්ණ දේහයකින් බැබළෙමින් තුරඟ වාහනාරූඪව වැඩවසන උතුම් වූ විභීෂණ රාජෝත්තමයාණන් වහන්ස,
බල පරාක්‍රමයෙන් තුන්ලොව වෙව්ළුවා වූ දේව, යක්‍ෂ, නාග සුපර්ණ සිද්ධි විද්‍යාධාරීන් අසුරු සැණින් පසුබස්‌සවා විජය ධජය ලෙළවූ සොයුරු ලංකාධීශ්වර රාවණාගේ බලය මැඬ තෙද බලය හා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‌ඛා ගුණාංගයන් ලංකා ධරණීතලය පුරා රෝපණය කරවූ අභීත වික්‍රමාන්විත ඔබ වහන්සේට මා දෙන පිං අනුමෝදන්ව පිනට පිහිට වන දෙවියනේ ඔබ වහන්සේගේ දිව්‍ය තේජානු භාවයෙන් අප වෙත පැමිණ ඇති ග්‍රහ දෝස ඇස්‌වහ, කටවහ, අඬෝවැඩියා දෝෂද, හදි හූනියම් දෝෂාන්ධකාරද අද මේ වෙලාවේ පටන් ධූරීන් භූත කරදී සියලු සෙත සහනය සලසා දෙන සේක්‌වා·
දේශමාන්‍ය - දේශබන්ධු - රංජන් සිසිර කුමාර
No comments:
Post a Comment