දෙවියන්ගෙන් වරම් ලැබූ ඉසිවර පරපුරේ කෙනෙක්‌

වෛද්‍ය ලෝකයේදී උගතුන් අපට කොතෙකුත් මුණ ගැසෙනවා ඇති. එතුමෝ වෛද්‍ය විද්‍යාව පමණක්‌ නොව අවශේෂ භාෂා ශාස්‌ත්‍ර දර්ශනාදියෙහිද උසස්‌ ප්‍රවීණතාවෙන් සමන්විතයෝය.එබඳු උදාර පුද්ගලයන්ගේ චරිතාපදාන හා සත්කාර්යයන් ජනතාවට දැනගන්නට සැලැස්‌වීමෙන් හුදෙක්‌ සමාජයට සිදුවන්නේ උදාරතර මෙහෙවරකි.

වසර 200 ක්‌ පමණ පැරැණි කොටුගොඩ ඕපාත වෙද පරපුර නියෝජනය කරන සෙනරත් හෙට්‌ටිආරච්චිගේ දොන් සිරිසේන වෙදැදුරු හමුවීමට මට අවස්‌ථාව උදා වූයේ මෙවන් බොහෝ කරුණු කාරණා සොයා යන ගමනේදීය.

සාමාන්‍ය ගැමියකුගේ ස්‌වරූපය විදහා පෑ මේ වෙදැදුරු භග්න චිකිත්සාව පිළිබඳ විශේෂ බවක්‌ ඉසිලීය. ඔහුගේ ප්‍රතිකාර විධි දෙස විමසිල්ලෙන් බලන ඕනෑම කෙනකුට පෙනී යන්නේ තෙල් සාත්තුව මූලික කර මිනිස්‌ සිරුරේ ඇතිවන කැඩීම්, බිඳීම්, ඉරිතැලීම්, සීරීම් මෙන්ම කොරවීම් වලට ප්‍රතිකාර කරන බවකි.

මේ වෙදැදුරුට සීත කාමර තිබුණේ නැත. එමෙන්ම කැරකෙන වෙද ආසනයක්‌ තිබුණේ ද නැත. සියලු රෝගීන්ට ප්‍රතිකාර කළේ පොළොවේ පය ගසා කෙළින් සිටගෙනය.

මේ සියල්ල දැකීමෙන් මට ඇති වූ හැඟීම ඒ අයුරින්ම මම ඔහුගෙන් ඇසුවෙමි.

"මේ වගේ පටු සීමාවක ඉඳගෙන වෙදකම් කරන්න අපහසුවක්‌ නැද්ද?"

මගේ ළඟට ප්‍රතිකාර ගන්න එන රෝගීන් ටයි කෝට්‌ දාගෙන එන්නෙ නැහැ. සමහර වෙලාවට ලේ දූවිලි කඳුළු තැවරුණු ඇඳුම් පිටින් මෙහාට එන්නේ. ඒ වෙලාවලදී රෝගියා බාරගන්න සූදානම් වෙලා ඉන්න මමත් ටයි කෝට්‌ දාගෙන ඉඳල හරියන්නෙ නැහැ. බලන්න මගේ ඇඳුමෙ හැටි ඖෂධවල කහට පැල්ලම්. ඒ වගේ තෙල් බෙහෙත් ගෑවුණු පැල්ලම්. කවදාවත් මම හොඳ ඇඳුමකින් සැරසිලා හිටියෙ නැහැයි කියල එකම රෝගියෙක්‌වත් ආපසු හැරිලා ගියේ නැහැ. කොටින්ම මම වෙදෙක්‌."

සිරිසේන වෙදැදුරු රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා වැඩි වේලාවක්‌ ගන්නේ නැත. රෝගියාගේ වචන දෙක තුනෙන් සියල්ල වටහා ගන්නා ඔහු මුලින්ම රෝගියා ඉදිරිපස තිබෙන තෙල් බෙහෙතකින් ප්‍රතිකාර අරඹන්නේ තවත් කෙනකු ඉදිරිපස සිට උපදෙස්‌ දෙන්නාක්‌ මෙනි.

"මගේ අප්පච්චි මියගිහිල්ල නැවත උත්පත්තිය ලබල තියෙන්නෙ දෙවි කෙනෙක්‌ වෙලා. ඒත් නිකම්ම නොවෙයි, දෙවිනුවර විෂ්ණු දේවතාවුන් වහන්සේට ආවතේව කරන දෙවි කෙනෙක්‌ වෙලා. ඒක මට හෙට ඉර පායනව වගේ විශ්වාසයි."

අදහාගත නොහැකි පුදුමයෙන් මා යළි යළිත් සිරිසේන වෙදැදුරුගේ කතාවට අවධානය යොමු කළේ මෙවැනි කතාවක්‌ අසන්නට ලැබූ පළමු වතාව මෙය හෙයිනි.

"යම් අදෘෂ්‍යමාන බලවේගයකින් මට මේක දැනගන්න ලැබුණා. එදා මගේ අප්පච්චිගේ අදහස තිබුණෙ මම දක්‍ෂ වෛද්‍යවරයෙක්‌ කරන්නනේ. ඒත් ඒක එයාට කරගන්න ලැබුනෙ නැහැ. නමුත් එයා මියගියත් දැන් මට ඒකට පිහිට වෙනවා. කොටින්ම කියනවා නම් මේක මට අප්පච්චිගෙන් ලැබුණ වරමක්‌."

"මම ගොඩක්‌ වෙලාවට වෙදකම් කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරවෙලා. සමහර ඖෂධ වර්ග මම නිෂ්පාදනය කළත් අනෙක්‌ ඒවා පිටින් ගන්නවා. බොහෝ ඖෂධ අපේ රටේ අපේ වෙද මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ නිපදවෙන්නෙ ප්‍රමිතියක්‌ ඇතිව. මම ඒවාත් ප්‍රතිකාර සඳහා භාවිත කරනවා."

"ඉතිං සෑම වෙලාවකම මම මගේ අප්පච්චි සිහිකරගෙන තමයි රෝගියකුට ප්‍රතිකාර කරන්නේ. ඒ වෙලාවට එක බෙහෙත් වර්ගයක්‌ නොවෙයි තුන හතරක්‌ම සිතට එන්නේ හරියට දිය පාරක්‌ ගලනවා වගේ."

"අපේ ගොඩක්‌ වෙද මහත්වරු රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ මුදලම බලාගෙන නොවෙයිනේ. පරලෝකෙ ගැන හොඳ වැටහීමකුත් හිතට අරගෙන. මේ වගේ වෙද මහත්වරු රෝගීන් වෙනුවෙන් අප්‍රමාණ කැප කිරීමක්‌ කරල මිය පරලොව ගියපුවාම සමහර වෙලාවට තාවකාලිකව වෙනත් ආත්මවල උත්පත්තිය ලබල පිං අපේක්‍ෂාවෙන් ඉන්නවා. ඒ වගේ අය තමයි ඔය සමහර දේවාලවල කපු උන්නැහේලට ආරූඪ වෙලා රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ. මේකට තමයි කියන්නෙ පෙර පුරුද්ද කියලා. මටත් තියෙන්නේ පෙර පුරුද්ද වගේම තාත්තගෙ පිහිට."

සිරිසේන වෙදැදුරුගෙන් ප්‍රතිකාර ගත්තෝ බොහෝ ය. ඒ කිසිවෙකුගේ නමක්‌ ගමක්‌, පදිංචියක්‌ සටහන් කර ගැනීමට ඔහුට අවශ්‍ය වූයේ නැත. දිනකට වැල නොකැඩී එන රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් කර තැබීමට නම් තවත් ලිපිකරුවන් දෙදෙනකුවත් ඔහුට ඕනෑ විය යුතුමය. එහෙත් මේ වෙදැදුරු රෝගියකුගේ වතගොත කිසිවක්‌ නොඅසා ප්‍රතිකාර කරන්නේ තවත් කෙනෙකුගේ විධානයකට මෙනි.

ඕනෑම රෝගියකු සිරිසේන වෙදැදුරුගෙන් ප්‍රතිකාර ගන්නේ වරක්‌ දෙවරක්‌ පමණි. ඉතාම බරපතළ රෝගයකදී නම් තුන් හතර වරක්‌ ප්‍රතිකාර ගත්තත් ඒ ඉතාමත් කලාතුරකිනි.

බොරැල්ල ආයුර්වේද විද්‍යාලයෙන් ආයුර්වේද සිද්ධාන්ත ගැන දෙවසරක පුහුණුවක්‌ ලැබූ සිරිසේන වෙදැදුරු සියල්ල කළේ පළපුරුද්ද මත ය. ඖෂධ ගැන මනා වැටහීමක්‌ තිබූ ඔහුට ආබාධයේ ස්‌වභාවය අනුව ප්‍රතිකාරයට ඕනෑ කරන ඖෂධ නිපදවා ගැනීමට විනාඩි කිහිපයකට වඩා ගත කරන්නේ නැත. ඒ තරමටම ඔහුගේ වෙද මැඳුර බෙහෙත් ගබඩාවකි.

"මොනම වෙලාවකවත් පිටතින් බෙහෙතක්‌ ගෙනල්ල රෝගියාට ප්‍රතිකාර කරන්න මම ඉඩ තියාගෙන නැහැ. මට ඕන කරන සියලු බෙහෙත් වර්ග මම ගබඩා කරගෙන තියෙනවා." යෑයි ඔහු කියන්නේ අභිමානයකින් යුක්‌තවය.

වරක්‌ සිරිසේන වෙදැදුරුගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණියේ විසි වසරක්‌ තිස්‌සේ එක්‌ පාදයක්‌ කොර වී තිබුණු කාන්තාවකි. ඇයගේ දණහිස නැමිය නොහැකිව ගල් වී තිබුණේ පෙර අකුසල කර්මයක්‌ නිසා දොaයි සිතූ ඇය ප්‍රතිකාර ගැනීමට නොගිය තැනක්‌ නොවීය. එහෙත් සුවයක්‌ නම් කිසිදා නොලැබීමෙන් කලකිරීමට පත්ව සිටි රෝගියාට සිරිසේන වෙදැදුරු ගැන අසන්නට ලැබිණි.

"අනේ වෙද මහත්තයෝ... අවුරුදු 20 ක්‌ ම මේ කකුල නවාගන්න බැරිව නොවිඳිනා දුක්‌ විඳිනවා. මේ කකුල නිසා කිසිම වැඩක්‌ කරගන්නත් බෑ."

කාන්තාව වෙදැදුරු ඉදිරියේ ඉකි ගසන්නට පටන් ගත්තාය. එහෙත් වෙදැදුරු කිසිවක්‌ කීවේ නැත. සුපුරුදු පරිදි තම පියා සිහිකර ප්‍රතිකාර කළ වෙදැදුරුට දකින්නට ලැබුණේ සති කිහිපයකින් දෙපයින් ඇවිදගෙන එන මේ කාන්තාවයි.

"කොයිතරම් වෙදකම ඉගෙන ගත්තත් තමුන්ට ඒක පිහිටන්නෙ නැත්නම් ලැබෙන ප්‍රතිඵලය අසාර්ථකයි. මේකට තමයි කියන්නෙ අත්ගුණය කියලා. මේ අත්ගුණය පෙර සංසාරෙත් එක්‌ක තියෙන බැඳ්Sමක්‌.

ගම්පහ වැලිවේරිය නගරයේදී විවිධ ආබාධයන්ට ප්‍රතිකාර කරන සිරිසේන වෙදැදුරු නිහතමානීය. කඩිසරය. නෙක ඖෂධවලින් සපිරුණු ඉතා කුඩා සීමාවකට කොටුවෙමින් සිටි ඔහු රෝ දුක්‌ නමැති අන්ධකාරයෙන් පිරුණු සමාජයක දැල් වූ මිණි පහනක්‌ වැනිය.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments