ළිඳ හෙවත් කූපය පිළිබඳව දැඩිව පවතින්නේ මිථ්‍යා මතයන් වේ. ළිඳ ඕනෑම දිශාවකට සුදුසු වේ. එනම් උතුර ඊසාන නැගෙනහිර ගිනිකොළ දකුණ නිරිත බටහිර සහ වයඹ යන අට දිශාවටම ළිඳ සුදුසුය. එහෙත් ළිඳ නුසුදුසු වන අවස්‌ථා ඇත. ඒ සඳහා බලපවත්නේ නිවසේ ප්‍රධාන ද්වාරය හෙවත් දොරයි. එනම් නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිටට පැමිණ අංශක 180 කෝණයකට හිස දෙපැත්තට හරවමින් බලද්දී ළිඳ පෙනේ නම් එම ළිඳ පිහිටා ඇත්තේ ගිනිකොණ දකුණ නිරිත සහ වයඹට වන්නේ නම් එම ළිඳ නුසුදුසු වේ. මෙම නුසුදුසුතාවන්ද තවත් ලිහිල් කරමින් වාස්‌තු ශාස්‌ත්‍රය සහනයන් සලසා ඇත.
එනම් මෙම ප්‍රධාන දොරට පෙනෙන නුසුදුසු දිශාවන් වන ගිනිකොණ දකුණ නිරිත සහ වයඹෙහි ළිඳ පිහිටියත් එය නිවසින් අඩි 15 ක් පමණ ඈතක පිහිටියේ නම් එයද කිසිදු ගැටළුවක් නැති දෝෂයක් ගෙන නොදෙන නිවැරැදි පිහිටීමක් ලෙස සැලකේ. මෙහිදී ඔබ සිත්හි තබාගත යුතු වැදගත් කරුණක් ඇත. එනම් තමන්ගේ නිවසට පැමිණෙන මාර්ගයේ පිහිටා ඇති ළිඳක් පසුකරමින් තම නිවසට එනවාද යනවාද එම ළිඳ පිහිටියේ ගිනිකොණ දකුණ නිරිත සහ වයඹ යන දිශාවන්ගේ ද එසේනම් මෙම කූපය නුසුදුසු ලෙස වාස්‌තුවේදී සැලකේ. එය කොපමණ ඈතක වුවද එය ශුභදායක නොවන බව සැලකිය යුතුය.
ළිඳක් කැපීම සිදු කරන්නේ කෙසේද?
ළිඳක් කැපීම සිදු කිරීම සඳහා සුබ නැකතක් ලබාගත යුතුය. ළිඳෙන් ගන්නා පළමු දිය බඳුන ඔබ බෞද්ධයෙක් නම් බෝධි පූජාවක් සඳහා රැගෙන යා යුතුය. ජලය යනු විශාල සම්පතකි. එය සෑම කෙනාටම උරුම නැත. මුදල් තිබුණද පොහොසත් වුවද සමහරක් ඉඩම්වල ජලය නොමැතිකමින් විඳින දුක්‌ගැහැට අපමණය.
ළිං වැසීම
ළිං වැසීම තමාට හිතු හිතු හැටියේ සිදුකළ නොහැකිය. ළිං වැසීමේ ක්‍රමවේදය වාස්‌තු සිද්ධාන්තයන්ගේ සඳහන් කර ඇත. එහිදී එම ළිඳෙන් ගන්නා වූ වතුර ගෙන ගොස් බෝධි පූජාවක් කරවා ළිඳ වැසීම කළ හැකිය. එහිදී පළමුව ජල මට්‌ටම තෙක් කළුගල්, බොරළු, වැලි දැම්මත් ඉන් පසු පිරිසිදු පස් දැමීමක් කළ යුතුය. කිසි විටෙක නුසුදුසු පස් යොදා වැසීම නොකළ යුතුය. වාස්‌තු මෙහි සඳහන් කරන්නේ මක්‌නිසාද යත් ළිඳක ඇති ජලය තවත් ළිඳකට මාධ්‍යයක් විය හැකි නිසාවෙනි. අපිරිසිදු දේ දැමීමෙන් අපිරිසිදු වන ජලය වෙනත් ළිඳකට යැම නිසා සිදු වන්නේ මහත් අකුසලයකි. ජලයේ පාරිශුද්ධ බව අප නිතරම රැකිය යුතුය.
නිවසට ළිඳ බලපාන මිථ්‍යා මත
නිවසක මුල්ලකට ළිඳ වැටීම කිසිදු ගැටළුවක් නැත. නිවසේ ළිඳ නිවසේ යටලී මුදුන් ලී ළිඳට ලම්බක වීම කිසිදු ගැටලුවක් නැත. මෙම කරුණු හි යම් සත්‍යතාවක් පෙරදී තිබූ බව පෙනේ. මන්දයත් එකල නිවාස සෑදීම සිදු වූයේ සිමෙන්ති කොන්ක්‍රීට් වැනි අමුද්‍රව්‍යය නොයෙදූ හෙයිනි. ළිඳ හෙවත් කූපය ලෙස නල ළිඳ සැලකේ. එමනිසා එහිද මෙම සිද්ධාන්ත එලෙසින්ම බලපාන බව කිව යුතුය.
වාස්‌තු විද්‍යා විශාරද
ජේ. ගොඩකන්ද ආරච්චි
0 Comments