මේ විවට්‌ට කල්පයයි

සංවට්‌ට කල්පය ගෙවී අවසන් විය. යුග ගණනාවක්‌ මෙම කල්පය තුළ ගෙවී ගියේය. මිනිසාගේ ප්‍රභවය යුගයෙන් යුගය නව පරිවර්තනයන්ට ලක්‌විය. ප්‍රාග් ඓතිහාසික යුගය වූ ගල් යුගය, එෙŒර යුගය, වැඩවසම් යුගය, කාර්මික යුගය, ඉලෙක්‌ට්‍රොනික්‌ යුගය, ඩිජිටල් යුගය වශයෙන් මෙම යුග තත්ත්වයන් හඳුන්වාදිය හැක. 

බුදුරජාණන් වහන්සේ සප්ත සූර්යෝද් ගමන සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, බ්‍රහ්ම ජාල සූත්‍රය, ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය, මහා පරිනිබ්බාණ සූත්‍රය වැනි සූත්‍ර දේශනා තුළින් ලෝකයේ ගමන් මඟ පැහැදිලි කර තිබේ. ඇතිවී වෙනස්‌ වෙමින් පැවතී, නැතිවී යැම ලෝක ස්‌වභාවය බැවින් මෙලෙස යුගයෙන් යුගය ලොව වෙනස්‌ විය. 

මේ මිහිමඬලේ පාලකයා මිනිසා බවට පත්වෙයි. එනිසා සොබාදහමේ ස්‌වයංක්‍රීය ක්‍රියාකාරීත්වයට පවා තර්ජන එල්ල වූ ආකාරය කෙසේ ආරම්භ වූයේද යන්න අවබෝධ කර ගන්නට අග්ගඤ්ඤ සූත්‍ර අන්තර්ගතයට පිවිසීම කාලෝචිත වෙයි. 

ආබස්‌සර නම් බ්‍රහ්ම ලෝකයෙන් මහා පෘථිවිය වෙත එර්දි බලයෙන් පැමිණි පිරිසකගේ කතා පුවතක්‌ මෙම සූත්‍ර දේශනාවේ එයි. සූර්යා ලොවට බිහිනොවූ අන්ධකාර යුගයක්‌ එකල විය. ඔවුන්ගේ ඇඟේ ආලෝකය පැවති බවත් එර්දි බලයද ඔවුන්ට තිබුණු බවත් එහි දැක්‌වේ.

මහා පෘථිවිය දීකිරි හට්‌ටියක්‌ මෙන් ඔවුන්ට ඈතට පෙනී තිබේ. එසේ පෙනුන මෙම පෘථිවියට බැසගත් ඔවුන් පොළොවට පහත් වී දීකිරි බඳු පොළොවට ඇඟිල්ල ගසා කටේ ගා බැලූහ. ඒ දැනුණු රසය කෙසේවීද යත් රස නහර පිනාගිය බව දැක්‌වේ. සතුට පමණක්‌ ආහාරය වූ ඔවුන්ට මෙහි ප්‍රබල වෙනසක්‌ දැණුනි. මේ මිහිමඬලට පැමිණි ප්‍රථම අමුත්තන් ඔවුන් වීමත්, ප්‍රථම ආශාව රස තෘෂ්ණාව වීමත් ලෝකාරම්භයේම සිදුවිය. සොබාදහම කොපමණ සියුම්ද කිවහොත් මෙසේ හටගත් තෘෂ්ණාව නිසා ඔවුන්ගේ ඇඟෙන් විහිදුන ආලෝකය දුර්වර්ණ විය. එර්දි බලය නැවතුණි. එනිසා තෘෂ්ණාව නිසා ස්‌වභාවධර්මයේ ආශිර්වාදය අහිමි වන අන්දම එයින් ප්‍රකාශ වෙයි.

එතැන් සිට ඔවුන්ගේ ජීවිත ගත වන්නේ මහා පෘථිවිය අනුභව කිරීමෙනි. කලක්‌ ගතව යැමේදී සූර්යා පහළ විය. එසේ එසැණින් මහා පෘථිවිය ඝන බවට පත්වෙයි. එසේම පොළොව මතුපිට ප්‍රථම වරට වැල් වර්ගයක්‌ පහළ විය. මේවා "බදුලතා" නමින් හැඳින්වෙයි. 

මහා පෘථිවිය ඝන බවට පත්වීම නිසා තවදුරටත් එය අනුභව කළ නොහැකිවූ ප්‍රාග් ඓතිහාසික මානවයා එතැන් සිට මෙම වැල් වර්ගය අනුභව කිරීමේ යෙදුණේය. මෙසේ කලක්‌ ගතවීමේදී ස්‌ත්‍රී පුරුෂ භාවය ලැබීම සහ මානවයාගේ වර්ධනයද ශීඝ්‍ර විය. එකම ප්‍රධාන අවශ්‍යතාව ආහාරය වීම නිසා බදුලතා වැල් ප්‍රධාන තම ධන සම්පත විය. ශක්‌තිවන්ත අය මෙම වැල් වැවුණ විශාල ප්‍රදේශ තම ග්‍රහනයට ගනිමින් දුර්වලයාට ඉඩකඩ ඇහිරිනි. එනිසා තණ්‌හාව තව තවත් වැඩිවීම සමග සොරකම් කිරීම පවා ආරම්භ විය. 

දිගුකලක්‌ ඇවෑමෙන් මහ පොළොව මෙපිට විවිධ තුරුලතා හටගැනීම ආරම්භ විය. ඒ වන විට බදුලතා වැල් විනාශ වී යැමේ තර්ජනය එල්ල විනි. ඒ අතරතුර ස්‌වයංජාත ඇල්වී නම් ගොයම් වර්ගයක්‌ ශීඝ්‍රයෙන් බෝවන්නට විය. එහි වී කරල ඉතා විශාලය. පොත්තක්‌ද නැත. සවිමත් බවක්‌ද නැත. ප්‍රසන්න සුවඳ මෙන්ම කිරි රස මිශ්‍ර මධුර රසයෙන් යුක්‌ත විය. මෙය කා බැලූ මානවායට බදුලතා වැල්වලට වඩා රසවත් බව දැණුනේය. නෙළාගත් සැණින් බත් මෙන් අනුභව කිරීමට හැකිවූ බැවින් දැඩි විශේෂත්වයක්‌ මානවයා තුළ ඇතිවිය.

කලක්‌ ගතවන විට මෙම ස්‌වයංජාත ඇල්වී වැවුණ විශාල බිම් ප්‍රමාණයන් ශක්‌ති වන්තයන් ග්‍රහණය කළෝය. වැඩියෙන් ආහාරය නිසා ඇන කොටා ගැනීම්, මරා ගැනීම්ද වර්ධනය විය. එසේ මිනිසාගේ තෘෂ්ණාව මිහිමඬල තුළ ලියලා වැඩෙද්දී සොබාදහම වෙනස්‌ විය. එනිසා නෙළාගත් සැණින් බත් මෙන් අනුභව කළ ස්‌වයංජාත ඇල් වී ඇටවලට පොත්තක්‌ හටගත් හා මෙන්ම බත් ඇටයද ඝන වී හාල් ඇට බවට ක්‍රමයෙන් පත්විය. 

දැන් නෙළාගත් සැනින් ස්‌වයංජාත ඇල්වී අනුභව කළ නොහැක. පොත්ත ඉවත් කරගත යුතුය. එසේම තම්බාගත යුතුය. මේ සඳහා ඉතාමත් දැඩි දුෂ්කරතා මතුවිය. කල්යත් යත්ම එම ගැටලු විස¹ ගැනීමට මානවයා සමත් විය. ගින්දර සොයාගැනීම බඳුන් සැකසීම වැනි කාර්යයන් බහුල වෙමින් සොබාදහම මිනිස්‌ නුවණට ඉඩ දුන්නේය.

මේ අග්ගඤ්ඤ සූත්‍රයේ එන සංක්‍ෂිප්ත සටහනකි. මෙයින් දක්‌වන්නේ මානවයා සොබාදහමින් ඈත් වී නුවණින් ගොඩනැඟීමත් සොබාදහමේ නරක ප්‍රතිඵල සහ හොඳ ප්‍රතිඵල අත්විඳින ආකාරයයි. එතැන් සිට වෙනත් අවශේෂ සතුන් බිහිවීම, මානවයා ගල්කැට මුගුරු පාවිච්චි කර සතුන් මරාකෑම වැනි ගල් යුගය ඇරැඹිණි. දිගු කලකට පසු හරක්‌ ඇතිකර එමගින් ජීවත් වීම වැනි එෙඬිර යුගයද මේ සංවට්‌ට කල්පය තුළ ගෙවුනි. 

එතැන් සිට නායකත්වය පිළිබඳ නුවණ පහළ කරගත් මානවයා රජෙක්‌ තෝරා ගත්හ. ඒ වැඩවසම් යුගය තුළය. එෙŒර යුගයේදී රවුම් ලීයකින් රෝදය හඳුනාගත් අතර වැඩවසම් යුගය තුළ එය ප්‍රාථමික මට්‌ටමින් ක්‍රියාත්මක විය. මෙම රෝදය මුල්කොට නුවණ මෙහෙයවා විශ්මිත නිර්මාණයක්‌ කිරීම ඇරැඹෙන්නේ මේ වැඩවසම් යුගයෙන් පසු බිහිවූ කාර්මික යුගයෙනි. මෙතැන් සිට ලෝකය නව ලොවක්‌ බිහි කිරීමට මිනිස්‌ ප්‍රඥව සමත් වෙන අතර විශ්ව සොබාදහමට එරෙහිවීමේ වේගයද මේ යුගය තුළ ඇරැඹුණි. එනිසා එකක්‌ උපදින විට තව එකක්‌ විනාශ වී යැම සෑම දෙයකම ආරම්භය සමග පවතී.

එතැන් සිට ගතවූ සංවට්‌ට කල්පයට අයත් වර්ෂ 25625 තුළ යුග ගණනාවක්‌ ගතවෙමින් මිනිසා අද වන විට ඉලෙක්‌ට්‍රොනික්‌ යුගයද ඉතා ඉක්‌මනින් අවසන් කොට ඩිජිටල් යුගය දක්‌වා පැමිණියේය. එදා පැවති තත්ත්වයන්ට වඩා අද මිනිස්‌ ලෝකය දෙව් ලොවක්‌ බඳුය. සොබාදහම අපායක්‌ බවට පත්කර ගත්තේය. සූර්යාගේ පහළවීමත් සමග ලෝකය කම්ම, ධම්ම, බීජි, සෘතු යන නාමයන් යටතේ ස්‌වයංක්‍රීය ක්‍රමවේදයකට සකස්‌ විය. ඒ ඒ සෘතු අනුව අව්ව, වැස්‌ස සකස්‌ විය. ඒ ඒ සෘතු අනුව භව භෝග සම්පත් උදාකර ගත්හ. කාර්මීකරණයෙන්ද, තුරුලතා සිඳ දැමීමෙන්ද, ආකාශය ගිනියම් නොකළ හෙයින්ද සූර්යාලෝකය තුළ තිබූ විපරීත නොවූ ගුණාංග හේතු කොටගෙන මහ පොළොව සාරවත් විය. භවභෝග සම්පත්වල ගුණයද, සුවඳද, රසයද නිසි අයුරින්ම පිහිටියේය.ලොවම එකම විශ්ව ගම්මානයක්‌ කළ ඩිජිටල් යුගය වූ මෙම යුගය තුළ සොබාදහම මරා දැමුවේය. එනිසා එම ප්‍රතිවිපාක මිනිස්‌ සිත් තුළටද ඇතුළු විය. මිනිස්‌ මනස මෘග සංඥවට ලක්‌විය. එනිසා හිත් පිත් නැති මිනිසුන් බිහිවන වේගය වැඩිවිය. ලෝභය, ද්වේෂය සහ මෝහය මිනිස්‌ සිත් තුළ වඩා බලවත්ය. අද මාධ්‍යයන් තුළින් අප දකින ම්ලේච්ඡ මිනිස්‌ ඝාතන ගැන සිතනු මැනවි.

තෘෂ්ණාව සඵල කරගන්නට ලාභය උපදවන්නට ඕනෑම පහත් ක්‍රියාවකට වුවද පෙළඹෙන මිනිස්‌ සිත් අද ලෝකය තුළ බලවත්ය. කෝටි 700 කට ආසන්න ජනගහනයක්‌ ඇති ලෝකයේ හතරෙන් තුකටම ආහාර අධ්‍යාපන, රැකියා, ඉඳුම් හිටුම්, ලෙඩදුක්‌ වැනි ප්‍රශ්නවලින් පීඩිත වෙද්දී සෙස්‌සෝ කෝටි බිලියන ගණන් වැයකොට තත්පරයෙන් ලොව විනාශ කළ හැකි බිහිසුණු මිසයිල අවි තනා ලෝකයාට පෙනෙන්ට ගබඩා කරගෙන සිටී.

රූප සුන්දරියන් තෝරමින් කෝටි බිලියන ගණන් වැයකොට මහා සැණකෙළි පවත්වද්දී ලෝකයේ තවත් තැනක ඇට පෑදුන ළමා, තරුණ, මහළු මිනිසුන් පිඟාන දිගුකොට ආහාර ඉල්ලා යදිති. සිය දහස්‌ ගණන් මිනිසුන් මැරී වැටෙන සේ බිහිසුණු අවි ප්‍රහාර පතුරවමින් බලය සඳහා පොරකති. තවත් පිරිසක්‌ බලය ලබාගැනීම පිණිස ගල් පැලෙන බොරු මෙන්ම මවාපෑම්ද කරමින් මිනිසා රවටයි. මේ සියල්ලක්‌ම බුද්ධ දේශනා අනුව මිනිසාට මෘග සංඥව ලැබීමය. 

වස විසෙන් භව භෝග පස්‌සවා ලාභ ලබන අතර මිනිසාට වස කවති. එපමණක්‌ නොව දලු අඹ ගැටයේ පටන් සෑම පලතුරක්‌ම විස කවා බලෙන් ඉදවා විකුණති. පරිභෝජනය කරන්නෝ විවිධ රෝගවලට පාත්‍ර වෙමින් ඖෂධ ජාවාරම් කාරයන්ගේ ඉහමොළ සූරා කෑමට ලක්‌වෙති. අන්තිමේදී දුක්‌විඳ මියයති. 

මිනිසා මිනිසාටම එසේ කුරිරු වෙද්දී සොබාදහම තම නරක ප්‍රතිඵල විශ්වයට මුදා හරිති. ගිනියම් වූ ආකාශයේ උෂ්ණත්වය නිසා වායු පීඩන ඇති වේ. එක්‌ ප්‍රදේශයක්‌ සොලවා භුමි කම්පන ඇතිවන විට කෝටි ප්‍රකෝටි ගණන් දේපළ හා මිනිස්‌ ජීවිත හිටිගමන් විනාශ වෙති. එසේම මහා සුළි සුළං, එසේම ගංවතුර කිසිදා යට නොවුණු ගම්බිම් විනාශ කරමින් ඉදිරියට ගලනු ඇත. නවීන තාක්‌ෂණයට පවා හඳුනාගත නොහැකි දරුණු වසංගත රෝග මෙන්ම විවිධ ගණයේ මදුරුවන් බෝවනු ඇත. 

මේ විවට්‌ට කල්පයේ මුල් යුගය තුළ සොබාදහම යළි විවර වන්නේ සමතුලිතතාව යළි ඇතිවීමටය. එසේ විවර වීමේදී ඉහත කී සොබාදහමේ අභියෝගවලට මිනිසාට මුහුණදීමට සිදුවනු ඇත. මායාවරුන් දුටු ලෝක විනාශය නොව බුදුන් වහන්සේ දුටු ලෝකයේ මෙම විනාශයන් තවදුරටත් ඉදිරියට පවතිනු ඇත. ඒ අතරින් නැනෝ තාක්‌ෂණ යුගය ඇරැඹී යළි ලොවට නව යුගයක්‌ උදාවනු ඇත. එයද විනාශයන් මැද සිදුවන දිගු ගමනකි.

ජ්‍යෙතිෂ්‍යවේදී අගලවත්තේ බී. හේරත්

Post a Comment

0 Comments