සුසාන භුමි අසල ගැවසෙන අමනුෂ්‍ය බලවේග පිළිබඳව අපට නිතර අසන්නට ලැබුණත් ඊට සාක්‍ෂි සපයන්නෝ හමුවන්නේ ඉතා කලාතුරකිනි. මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයන් කෙසේ වෙතත් ඊට ගොදුරු වූවෝ ඉඳහිට හෝ හමු නොවෙනවා යෑයි කිව නොහැක. එහෙත් එවන් සිදු වීමකට සාක්‍ෂි සපයමින් පසුගියදා අසන්නට ලැබුණ මේ සිදුවීම තරමක පුදුම සහගතය.
පෞද්ගලික ආයතනයක රැකියාව කළ සුමනදාසගේ වැඩ මුරය අවසන් වීමට තිබුණේ රාත්‍රි දොළහටය. එහෙත් පාලනාධිකාරිය ඔහුගේ ගමන් අපහසුව සලකා පැය දෙකකට කලින් සේවය නිමවා යැමට විශේෂ අවස්aථාවක් ලබා දී තිබුණේ ඔහු සිය කාර්යභාරය අවංකව කළ නිසාය.
වැඩපළේ සිට කිලෝ මීටර් විසිපහක් තිහක් පමණ බස් රථයකින් පැමිණ තවත් කිලෝ මීටරයක් තරම් දුරක් තම නිවසට පයින් ගමන් කළ යුතු බව සිය ප්‍රධානියාට මුලින්ම කියා තිබීම නිසා ඔහුට මෙම අවසරය ලැබිණි.
"සුමනදාසගේ කැපවීම නිසාමයි අපි තීරණය කළේ පැය දෙකක් කලින් යන්න ඉඩ දෙන්නෙ. ඒක වෙන වෙන වෙලාවල්වලදී කවර් කරනව නම් හොඳයි." මැනේජර්ගේ විධානය සුමනදාසට කිසියම් සහායක් ගෙන දුන්නේය. තම නිවසට එනතුරු රෑ දෙගොඩහරියක් තම බිරිඳ නිදි වර්ජිතව බලා සිටිනවා සුමනදාසට මැවි මැවී පෙනුණේ මේ කියමනත් සමගය.
දෙයියන්ගෙ නාමෙට මෙහෙම වෙච්ච එක හොඳයි. නැත්නම් අර මනුස්‌සය බඩකුත් බදාගෙන උලුවස්‌සට හේත්තුවෙල මම එනකම් බෙල්ල දික්‌කර කර බලා ඉඳීවි ඔහු සිය මිත්‍රයකුට කීවේ සිතේ තිබූ සතුට ප්‍රකාශ කරන්නාක් මෙනි.
"කවුරු කොහොම කිව්වත් මැනේජරය කියන තරම් නරක මිනිහෙක් නෙවෙයි බං එයාටත් ටිකක් උණුවෙන ගතියක් තියනවා."
සිය සගයා කියූ කතාවට සුමනදාස සිනහසුනා මිස කිසිවක් කියන්නට ගියේ නැත. එදින සේවා මුරය අවසන් කළ ඔහු හැකි ඉක්‌මනින් නිවසට යැමට අදහස් කළේ දරු ප්‍රසූතියකට ළංව සිටින සිය බිරිඳගේ කන්නලව්ව සිහිපත් කරමිනි.
"අනේ සුමනෙ...... ටිකක් වේලපහින් එන්න බලන්න මටත් දැන් නම් අමාරුයි අමාරුයි වගේ."
බිරිඳගේ කන්නලව්ව සිතේ දෝංකාර දෙමින් තිබියදී ඔහු සිය ගමන ඉක්‌මන් කළත් වෙනදා හරියටම රෑ දහයට එන බස් රථය එදා ආවේ තරමක් ප්‍රමාදවය.
"ෂික්...... මේ බම්බුවත් අද එන්න පරක්‌කු වෙලානේ දුප්පතාටමයි හැම හෙනයක්‌ම" තමාටම කියාගත් සුමනදාස ප්‍රමාද වී ආ බසයේ කෙළවරක හරිබරි ගැසුණේය.
බස් රථයට ගමන් කළ හැකි වූයේ කිලෝ මීටර් කිහිපයක් පමණි. හදිසියේම කර කරාස් හඬක් නංවමින් නතර වූ බසය තවත් අඩියක්‌වත් එහාට ගමන් කළ නොහැකිව අඩපණ වූයේ සුමනදාසගේ සියලු අපේක්‍ෂාවන්ට විරාමයක් තබමිනි.
"හත්තිලව්වේ හොඳ වෙලාවට හන්දියෙ නතර වුණේ. තව ටිකක් එහාට ගියා නම් කපෝතියි." රියෑදුරු උන්නැහේ අසුනින් නැගිටින ගමන් කියද්දී සුමනදාස හිසට අත තබාගත්තේය.
දැන් ඉතිං කාල වරෙන්කෝ සෙසු මගීහු කේන්තිය පිටකර ගිනිද්දී සුමනදාස හෙමි හෙමින් අසල තිබූ රෑ කඩයකට රිංගා ගත්තේය.
"සුමනේ එනකොට මොනව හරි අරං එන්නකෝ ගෙදර කෑම කාල ඇතිවෙලා." සුමනදාසට බිරිඳගේ කන්නලව්ව අතරේ කියූ අනෙක් ප්‍රශ්නය සිහිවූයේ කඩයට ගියාට පසුය.
"මට දෙන්න හොඳවැයිං කොත්තුවක් " සුමනදාස අහිංසකව සිනහසෙමින් මුදලාලිට කීවේය.
"මොනවද මහත්තයා මාළු, මස්, බිත්තර" මුදලාලි තවත් පාර්සලයක් ඔතන ගමන් සුමනදාසගෙන් ඇසීය.
"පෝක්. පෝක්." බිරිඳගේ දෙළඳුක සන්සිඳවීමට මස් කොත්තුවක් රැගෙන යැම මැනවයි සිතූ සුමනදාසට ඉන් එපිට යමක් සිතුනේ නැත.
"ආ ළමයා ඌරුමස් කොත්තුවක්" මුදලාලි කියද්දී කොත්තු කොලුවා ටක....... ටකස්..... ටකට....... ටකාස් ශබ්ද නගමින් කොත්තුවට මුල පිරුවේය.
"අනේ අම්මප මූත් මේ මහ රෑ ඌරු මස් අරං යන්නෙ මේ වයේ ආනිසංස දන්නෙ නැතිව වෙන්න ඇති." රෑ එකොළහත් පසුවී තිබුණ හෙයින් කොලුවා කේන්තියෙන් මුමුණන්නට පටන් ගත්තේය. කොත්තුව සුමනෙගේ අතට පත්වී තවත් පැය බාගයක් පමණ යද්දී බස් රථයේ දෝෂයද හදා අවසන් වෙමින් තිබිණි.
සුමනදාස නිවසට යන හන්දිය අසලින් බසින විට රාත්‍රි දොළහත් පසු වී හමාරය. තවත් කිලෝ මීටරයක් තරම් පයින් ගමන් කළ යුතු නිසා ඔහු ගමන ඉක්‌මන් කරමින් අතේ වූ කොත්තු පාර්සලය අනෙක් අතට මාරු කළේය. මේ මාවතේම වූ කනත්ත සුමනදාසගේ ගෙවල්වලට තරමක් ළංව තිබිණි. දිනපතා එහා මෙහා යන ඔහුට එහි වගේ වගක් නැත. එහෙත් කනත්තට ආසන්න වනවාත් සමග කිසියම් කාලවර්ණ යමක් කනත්තේ මැද සිට තමා දෙසට එනවා ඔහුට පෙනිණි.
නිතර දෙවේලේ හරක් ළගින කනත්තේ මේ අවේලාවේ හොල්මන් කරන්නේ මොකෙක්‌දැයි කල්පනා කළ සුමනදාසට එක්‌වරම තම අතෙහි වූ ඌරු මස් සහිත කොත්තු පාර්සලය ටික ටික කවුරු හෝ කනත්ත පැත්තට ඇදගෙන යන්නට උත්සාහ දරන බවක් දැනෙන්නට විය.
මේ සිදුවීමත් සමග ඔහුගේ ගත සීතල වෙමින් රෝම කූප කෙලින් සිටින්නට පටන් ගත්තේය. ඒ එක්‌කම ඇති වුණු තැති ගැන්මත් සමග බුදුඅම්මෝ කියූ සුමනදාස හැකි පමණ වේගයෙන් දිව ගොස් ගෙදර මිදුලේ ඇදවැටෙද්දී ඔහුගේ සිහි එළවා ගැනීමට යකැ දුරෙකුගේ සහාය පතන්නට බිරිඳට සිදු විය.
මේ පිළිබඳව ප්‍රදේශයේ තරුණ පිරිස සහ දැන උගත් පිරිස කතා කළේ කොත්තුවට ඉව ඇල්ලූ සුනඛයෙක් හෝ දෙදෙනෙක් එය ඩැහැ ගැනීමට උත්සාහ දරා ඇති බවක්‌ය. එහෙත් පසු දින කළ විපරමකදී දකින්නට ලැබුණේ ඔහුගෙන් උදුර ගත් කොත්තු පාර්සලය කිසිම ආපදාවකට ලක් නොවී කනත්ත අසලම වැටී තිබූ අයුරුය.
විමලසිරි අගලකඩ
0 Comments