බුදුවරුන් සතර නමකගේ පාදස්‌පර්ශයෙන් අති පූජනීය බවට පත්වූ අනුරාධපුරයේ උඩමළුවේ විරාජමානව බැබළෙන ජය ශ්‍රී බෝධින් වහන්සේට සැදැහැවත් ජනතාව විසින් දිනපතා තබන පූජාවන් විචිත්‍රය. කිරි ආහාර මෙන්ම මල්, පහන්, සුවඳ දුම්, කොඩි, ගිලන්පස, දැහැත්, සිවුරු, අටපිරිකර ආදී අනේකවිධ පූජාවන්ගෙන් පිදුම් ලබන බෝධිය ඒ පූජාවන් තබා විවිධ ප්‍රාර්ථනාවන් කරන අයගේ එම ප්‍රාර්ථනා සැබෑකරවීම පුදුමසහගතය.
ජය ශ්‍රී මහා බෝධිය පිළිබඳ වංශකථා කියවනවිට දැකගත හැකි සුවිශේෂී කරුණු දෙකක් පෙනේ. මේ බෝධි වෘක්‍ෂයේ මහානුභාවය හෙවත් සැඟවී ඇති ශක්‌තිය එකකි. එකල විසූ අපේ මුතුන් මිත්තන් සතුව තිබූ විශිෂ්ට බුද්ධි මට්‌ටම අනෙකයි. සාම්ප්‍රදායික ලෙස ග්‍රහ අපල දුරුකර ශාන්තිය උදාකර ගැනීම උදෙසා බෝධි පූජා තැබීමෙන් ඔබ්බට කරුණු කාරණා විමසා බලා බෝධිය ගැන මෙම කරුණු හැදැරීම මගින් වඩාත් ප්‍රඥවන්තව බෝධි පූජාවන් තැබීමටත් එකල සිටි ජනතාවගේ දැනුම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්‌ථාව ලැබේ.
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය කරන අවස්‌ථාවේ සිදුවූ ප්‍රාතිහාර්ය ගැන වංශකතාවල සඳහන් වෙයි. මහාවංශයේ දහඅට වැනි පරිච්ඡේදයේ සඳහන් වන්නේ "සූර්යා අස්‌තංගන වන කල්හි රෙහෙණ නැකතින් පෘථිවියේ පිහිටියේය" යනුවෙනි. රෙහෙණ නැකත යෑයි කියන්නේ කුමක්‌ද? ඒ රාශි චක්‍රයේ එක්‌තරා ස්‌ථානයකට හෙවත් පෘථිවිය වටා ඇති චක්‍රයේ අහසේ පිහිටි නැකතට කියන නමකි. අංශක 360 ක්‌වූ මෙම චක්‍රය දොළහකට බෙදා මේෂ, වෘෂභ, මිථුන, කටක ආදී රාශි 12 නම්කර තිබේ. රෙහෙණ නැකත කියන්නේ වෘෂභ රාශිය පිහිටි අංශක 70(30) ඇතුළත අංශක 10 ක් අංශක 23 කලා 20 ත් අතර පිහිටි තාරකා පංතියට කියන නමයි.
මේ අනුව විස්‌මය දනවන කරුණක් අනාවරණය වෙයි. නවීන විද්‍යාඥයන් (තාරකා විද්‍යාඥයන්) දුරේක්‍ෂය නිපදවා ග්‍රහ වස්‌තූන් දැක නිරීක්‍ෂණය ආරම්භ කළේ මෙයට වසර 1700 කට පමණ පසුවය. වෙනත් ලෙසකින් කිවහොත් නවීන විද්‍යාඥයන් යන්තම් අහස නිරීක්‍ෂණය කිරීමට වසර 1700 කට පෙර ශ්‍රී මහා බෝධිය රෝපණය කරන කාලයේ අපේ මුතුන් මිත්තන් අහසේ තරු රටා පිහිටි තැන අංශක, කලාවලින් මැන ගැනීමට දැන සිටි බවයි.
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට වන්දනා කරන අතරතුර ඒ විශිෂ්ට දැනුමින් සන්නද්ධව සිටි අපේ මුතුන් මිත්තන්ට ප්‍රණාමය පිරිනැමීමට ද අප මතක තබා ගත යුතු වේ.
ඇසතු වෘක්‍ෂය බෝධිය යන නම ලබන්නේ උතුම් වූ බුද්ධත්වය අවබෝධ කර ගැනීමට සිද්ධාර්ථ බෝධිසත්වයින් වහන්සේට උපකාර වූ ගස බැවිනි. එහෙත් ඒ නිකම්ම නිකම් ගසක් නොවේ. බෝධියක් නැතිව බුදුබව ලැබිය නොහැකිය. සෑම බුදුවරයෙක්‌ම බුදුබව ලබන්නේ බෝධි වෘක්‍ෂයක් යටදීම බැවිනි.
බුදුවීමෙන් අනතුරුව බුදු හිමියන් සතියක් ඇසිපිය නොහෙළා බලා සිටීමෙන් බෝධියට කෘතගුණ දක්‌වන ලදී. එයින්ද බෝධිය පූජනීය හා ආනුභාවසම්පන්න විය. බෝධිය රෝපණයට සූදානම් වෙත්ම එය අසූරියනක් අහසට පැනනැංගෝය. එයින් රජතුමා ඇතුළු ජනතාව විස්‌මයට පත්විය. හිරු බසින විට නැවත රෙහෙණ නැකත උදාවන විට පොළොවෙහි පිහිටියේය. රෝපණය කළ විගසම එයින් අංකුර අටක් හටගත්තේය. අෂ්ටඵල රුක බෝධි නමින් ඒවා ලංකාවේ ස්‌ථාන අටක රෝපණය කරන ලදී.
බෝධිය රැකගැනීමට දහඅට කුලයක ශිල්පීන් ඉන්දියාවෙන් මෙරටට එන්නේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ බෝධිය වැඩමවන කණ්‌ඩායමත් සමඟමය. මේ අය සමඟ විශිෂ්ට උද්භිත විද්‍යාඥයන් ද සිටි බව තහවුරු වන්නේ අද අපේ රටේ පැරණිම වෘක්‍ෂය ලෙස ජයශ්‍රී මහා බෝධිය ආරක්‍ෂා වූ බැවිනි.
ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියස සම්‍යදෘෂ්ටික වූ දෙවිවරු වැඩවසති. දරුවන් නොමැති යුවළක් බෝධි පූජා පවත්වා දෙවියන්ට පින්දී දරු සම්පතක් පතන විට දෙව්ලොවින් චුතවන දෙවි කෙනකු එම යුවළගේ දරුවකු ලෙස ඉපදීමට යොමුවිය හැකිය. අප විසින් එසේ යොමුකරවන ලද විවාහකයන් දෙපළකට මාසයක් ඇතුළත දරුවන් පිළිසිඳගත්තේ පුදුමසහගත ලෙසිනි. එවැනි ප්‍රාර්ථනා ඉටුවීමේ මහානුභාවයක් ජය ශ්‍රී මහා බෝධින්වහන්සේට තිබෙන බව දන්නා දහස් ගණන් ජනතාව එදත් අදත් හෙටත් ශක්‌ති පමණින් බෝධි පූජා පවත්වනු ඇත.
ජ්‍යෙතිර්වේදී - කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
0 Comments