ඇසෙන විට මුළු සිරුර පුරා හිරුගඩු නංවන භූත කතාන්දර තුළින් මතුවන සත්‍ය හෝ අසත්‍ය වටහා ගැනීමට බොහෝ අය දැඩි අවධානයක් යොමු කරද්දී මෙම සිදුවීම අපට අසන්නට ලැබුණේ අම්බලන්ගොඩ ප්‍රදේශයෙනි. තම සිඟිති දරුවාගේ සුරතල් කතා බහ අතරතුර මතු වුණු මෙම සිදුවීම ඇයගේ මව භීතියට පත් කරමින් තිබුණාය.පූජා භාණ්‌ඩ අලෙවි සැලකදී අහම්බෙන් හමු වූ ඇයට අපි අනෝමා යෑයි කියමු. අම්බලන්ගොඩ ප්‍රදේශයේ ම ආරණ්‍ය සේනාසනයකට සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමිමට අවශ්‍ය කළමනා රැගෙන යැම සඳහා පැමිණ සිටි ඇයගේ සිත ඒ වන විටත් බෙහෙවින් කැළඹීමට ලක්‌වී තිබිණි.
වසර තුනහමාරක් පමණ වයසැති දියණියත් සමඟ පැමිණ සිටි මෙම තරුණිය නිතර සැකයෙන් හා බියෙන් පෙළෙන බවක් පෙනෙන්නට තිබිණි. කෙසේ හෝ ඇය හා පිළිසඳරකට වැටුණු මට ඇයගෙන් අසන්නට ලැබුණේ අදහා ගත නොහැකි කතාන්දරයකි.
අනෝමාත් ඇයගේ එකම සහෝදරයාත් අතර තිබුණේ දැඩි බැඳීමකි. එනිසාම ඇයගේ දියණියට ද ඔහු පියකු මෙන් දැඩි සෙනෙහසක් දැක්‌වූවේය.
"අක්‌කේ...... ඔන්න මම තමයි මෙයාගෙ සේරම වියදම දරන්නෙ. ඒකට මොකුත් කියන්න එපා."
ඒ වන විටත් පෙර පාසලට ඇතුළත් කිරීමට සිටි දියණියගේ සියලු ඉගැන්වීම්වල වගකීම අතට ගත් සහෝදරයා කීවේය.
"මල්ලී මෙයාට වියදම් කරන්න හදන්නෙ නැතිව හොඳ කෙල්ලක් හොයල කසාදයක් කරගන්න හදන්න"
අනෝමා සිනාසෙමින් සිය සහෝදරයාට කීවේ ඔහුගේ අනාගතයටත් තමාගෙන් යමක් සිදුවිය යුතු යෑයි සිතමිනි.
"අක්‌ක ඉතිං හැමදාම පණ්‌ඩිතකම්නේ කියන්නේ. ඒක වෙලාවට මම කර ගන්නම්. ඊට ඉස්‌සර වෙලා තියන වැඩක්‌නෙ මේ චූටිය මොන්ටිසෝරි යවන එක."
"ඉතිං මල්ලි ඒකට මෙයාගෙ තාත්ත ඉන්නවනෙ.a. අපි හම්බ කරන දේ මෙයා වෙනුවෙන් තමයි."
"හරි හරි...... මම නැහැයි කිව්වේ නැහැනේ. මාම කෙනෙක් වශයෙන් මටත් යුතුකමක් තියෙනවා. ඒකත් අක්‌ක අමතක කරන්න එපා."
තම සහෝදරයාත් දියණියත් අතර තිබූ බැඳීම අනෝමාට ඇතැම් විටෙක අදහාගත නොහැකි තරමට පුදුම සහගතය. පියාට නැති ලෙන්ගතු කමක් මාමාට දැක්‌වීම විටෙක ඇයට සතුටක් දැනුනත් තවත් විටෙක බියක් ඇති කළාය.
"මල්ලී ඔයා මේකිට වැඩිපුර ආදරේ කරල යම් දවසක බඳින්න ඉන්න කෙල්ලට සැකක් ඇති වුණොත් ඔයාගෙමයි මෙයා කියලා."
"ඉතිං මගේ මොකෝ මගෙ අක්‌කගෙ මොකෝ. අක්‌ක අහල නැද්ද සහෝදරියගෙ දරුවො අඬනකොට මාමගෙ මහපට ඇඟිල්ලෙන් කිරි එරෙනව කියලා."
මේ දෙදෙනාගේම කතා බහ අස්‌සේ සිඟිත්තිය මාමාගේ ඔඩොක්‌කුවට පැන සුරතල් වන්නට පටන් ගත්තාය.
"පේනව නේ..... තියෙන දාංගලේ. ඔන්න අක්‌කෙ මමයි මෙයා මුල්ම දවසෙ මොන්ටිසෝරි එක්‌ක යන්නෙ. මම ඒකට හොඳ තෑග්ගක් ගන්නවා."
"අප්පේ ඒ මොකක්‌ද මල්ලී"
"මම මෙයාව හා හා පුරා කියල එක්‌ක යන්න අලුත් කාර් එකක් ගන්නවා."
සහෝදරයා සිනහසෙමින් සිඟිත්තියගේ නාසය මිරිකා මුහුණ සිප ගත්තේ සිය අදහස ස්‌ථිරවම ක්‍රියාත්මක කරන බව පෙන්වමිනි.
නව වසරේ පෙර පාසලට දරුවා ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට තවත් දින කිහිපයක් තිබුණත් ඒ සඳහා තමා පොරොන්දු වූ පරිදි සිඟිත්තියට අවශ්‍ය බඩු භාණ්‌ඩ ගෙන ඒම සඳහා ඔහු නගරයට ගියේය. එහෙත් ඔහුට ආපසු එන්නට ලැබුණේ නැත. අධික වේගයෙන් ආ වෑන් රථයක් ඔහු යටකර පලා ගියේ මිලදී ගත් භාණ්‌ඩ මහ මඟ පුරා විසිකර දමමිනි.
සිඟිත්තියට මේ බවක් තේරුණේ නැත. නිවසේ තැන්පත් කර තිබූ ඔහුගේ මළ සිරුර සහිත පෙට්‌ටිය අසල "මාමේ මාමේ නැඟිටින්න" කිය කියා සිටි ඇය විටෙක එතැනම නින්දට වැටුණාය.
මේ සිදුවීමත් සමඟÊකම්පාවට පත්ව සිටි අනෝමා දරුවාගේ සෙනෙහසට මොනයම් හෝ බාධාවක් නොකර රිසි දෙයක් කිරීමට ඉඩ හැර නිහඬ වෙද්දී ඥාතීන් නම් ඊට කැමැත්තක් දැක්‌වූයේ නැත.
"කෙල්ලට මාමාගෙන් තොර ලෝකයක් තිබුණේ නැහැ. එයා දන්නෙත් නැහැ මල්ලිට මොනව වෙලාද කියලා. මට ඒක තේරුම් කරලා දෙන්න ක්‍රමයකුත් නැහැ. ඒක නිසා ඔහේ හිටපුවාවේ" ඇය හැඟීම්බරව කීවේ තවත් මොනවා වෙන්නදැයි සිතමිනි.
සහෝදරයාගේ අවසන් කටයුතු නිම වී ගත වූයේ දින කිහිපයකි. දියණියගේ සම්මුඛ පරීක්‍ෂණයේ දින ළංව තිබූ හෙයින් අනෝමාට දරාගත නොහැකි වේදනාවක් දැනෙන්නට විය. තමාත් මල්ලීත් තම සිඟිත්තාගේ පරීක්‍ෂණයට යැම සඳහා සිහින මව මවා සිටි ඇයට ඇති වී තිබූ මෙම ෙ€දවාචකය කිසිසේත් විඳදරා ගැනීමට නොහැකි විය.
අනෝමා දහසක් සිතුවිලි අතරේ අතරමංව හැඬූ කඳුළෙන් කාලය ගෙවද්දී හදිසියේම ඇයගේ දියණිය දුවගෙන ආවාය.
"අම්මා...... අම්මා. අපේ මාමා ඇවිල්ලා ගියා. මට ඉස්‌කෝලෙ යන්න එන්න කියල කිව්වා."
මේ සිදුවීමත් සමඟ අනෝමාට දෙවියන් සිහිවිය. සිය සහෝදරයාගේ මිය යැමක් ගැන කිසිම වැටහීමක් නොතිබූ ඇයට දුකක් නොතිබුණු බවක් ද පෙනෙන්නට තිබිණි.
"මේ අහන්නකෝ අම්මා. අපේ මාමා ඇවිත් ගියා. අනේ අම්මා මාමා ආපු ගමන් කොහේද ගියේ."
අනෝමාට මේ සිදුවීමත් සමඟ තත්පර කිsහිපයක් නිහඬව සිටියේ කිසිවක් සිතාගත නොහැකිවය. ඒ වන විටත් මෙවැනි අද්භූත කතා ඇය කොතෙකුත් අසා තිබුණත් ඒවා ගණනකට ගෙන තිබුණේ නැත. එහෙත් දියණියගේ මේ හැසිරීමත් සමඟ ඇයට බියක් දැනෙන්නට පටන් ගත්තාය.
මවගේ නිහඬ බවත් සමඟ දියනියට එය අමතක වී තිබියදී අනෝමා පසුදින ඇයගේ සම්මුඛ පරීක්‍ෂණයට යැම සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කරමින් සිටියාය. එදින ද දියණිය යළි දුවවිත් අනේ අම්මේ මට මාමත් එක්‌ක යන්න ඕනෑ යෑයි හඬන්නට පටන් ගත්තාය.
මෙවැනි සිදුවීම්වල කිසියම් අනතුරුදායක පැත්තක් ද තිබෙන බව වටහා ගත් අනෝමා දෙලොවක් අතර අතරමං වෙද්දී දියණිය නැවත කීවේ මම මාමත් එක්‌ක උඩින් ගිහිල්ල අම්ම බලන්න එන බවක් ය.
මේ එකින් එක සිදුවන සිදුවීම් සමඟ දියණියගෙන් කිසියම් වෙනසක් දකින්නට ඇයට තිබූ හෙයින් මියගිය මල්ලිට පිනක් දහමක් කර පින් පෙත් දීමෙන් හෝ මෙම තත්ත්වය මඟහරවා ගැනීමට හැකි වෙතැයි සිතූ ඇය මෙම ක්‍රියා මාර්ගය ගත් බව කීවේය.
විමලසිරි අගලකඩ
0 Comments