ගුප්ත විද්‍යාවට අයත් මංත්‍ර ශාස්‌ත්‍රයේ දැක්‌වෙන පරිදි විවිධාකාර වින බන්ධන ඇත. මේවා හදි හූනියන්, කොඩි වින යනුවෙන් හැඳින්වේ. මෙම වින මාරන මංත්‍ර කාණ්‌ඩයට අයත් අන්‍යයන්ට කරන අපරාධ සහගත ඒවාය. මේවා කිරීමෙන් තමන්ට මෙලොවත් පරලොවත් පව් සිදුකරගන්නා අයහපත් නපුරු දේවල්ය. ඒ වගේම අපරාධ සහිතව කරන මෙවන් ගුරුකම් කර ඒවා ආපස්‌සට ආවිට තමාටත්, තම අඹු දරුවන්ටත් ආපසු වදින බව තරයේ හිතට ගන්න. හූනියන් කිරීම මහා පාපයක් වන අතර ඔහු කෙළින්ම අපාගතවන්නේ බුදු දහම අනුවයි.
හූනියන් හෙවත් කොඩිවින කරන මංත්‍රවේදියාද මෙලොවදී අමු අමුවේ පණුවන් ගසා නොයෙකුත් වධ බන්ධනවලට ගොදුරු වී මිය යයි.
හූනියමක් කිරීමට පස්‌ඉටි, හොඬල අල, නියඟලා අල, වල් අන්නාසි, නවසි , බිත්තර, තල්පත්, කිඩාරන් අල, දෙහි, දිවිකදුරු, මිනී ඇට, කොටිහම්, මුව හම්, මිනී ඔළු කටු කැබැලි ආදියේ රූප ඇඳ කටු ගැසීම්, හිර කිරීම් කරයි. මේ නපුරු ගුරුකම් පිළිබඳ විස්‌තර හූනියන් පොතෙහි මෙසේ සඳහන් කර ඇත.
නියම හූනියම් පොතකි බොලන්නේ
මිනී මරන්නට උපත තියෙන්නේ
දැන කළහොත් තම දිවි ගැලවෙන්නේ
නොදැන කළොත් වරිගෙත් නැතිවෙන්නේ
කළොත් අපායේ වැටෙයි කියන්නේ
ඒ පොත් ඉරුපිට පෙරළා පන්නේ
වානේ කටු ගැසු තැනට බලන්නේ
කුමාර පිල්ලිය එතන තියෙන්නේ
මිනී මරන්නට උපත තියෙන්නේ
රූකඩ ජීවම මේ අහපන්නේ
රූපෙට මෙය රැගෙනා නොලසින්නේ
රූකඩ ජීවම මේ දැනගන්නේ
දෙබර බඹර ඉටි පහ එක්‌කරලා
රූබර රුසිවරු රූපෙ තනාලා
සිකුරු දිනේ කටුපහ එක්‌කරලා
මතුර එසේනා පුර යෝග යොදාලා
පෑලවියද කුජ හෝරා ගන්නේ
පුරසරයද කුම්බ රැසය යොදන්නේ
ශනි දිනයේ නව නැකත යොදන්නේ
දුජනන් මේ ලෙස සිරකර පන්නේ
යන එන මාවත විමසා බලලා
පැන යන හත් අඩියට පන්නාලා
ගෙන රූපේ නමකි ලියාලා
රත්රන් කටුව පළමුව පේ කරලා
නයිද පොළොං කටු ගෙන විගසින්නේ
යකඩද පිත්තල කටු අරගන්නේ
රිදීද වානේ කටු අර ගන්නේ
ලෝකඩ ඊයෙන් කටු අරගන්නේ
තුන් සැන්දැවේ සොහොනක ගන්නේ
තුන්මන්සල ගොස් දැපකර පන්නේ
ගනිමින් නමකුරු අසුකර ගන්නේ
සිංගි පොවා කටු ඉඳ මතුරන්නේ
සරාලා තියෙයි උඹගේ නමට අනේ
දරාගන්ඩ බැරුවා වැදුණ දුක අනේ
කිරාලා දෙන්ඩ රිසි උනි පඬුරු අනේ
නුරා කර වඩින් කබැලෑ ස්‌වා මිනේ
මේ කාව්‍යයෙන් කබැලෑ දෙවි පටුන නමැති හූනියන් පොතේ සඳහන්ව ඇත. හූනියන් වලට අයත් වැල් පැන්නුම් ආදියට උඩින් පැන්න හොත් කොරවීම, ගොළුවීම, පිස්‌සු ඔල්මාදයන් ඇතිවීම, ඔත්පළ රෝග, කිසිදාක විවාහයන් සිදු නොවීමට තුං දොස් කිරීම, පවුල්වල අඬ දබර ඇතිවීම හා අඹු සැමියන් වෙන් කිරීම, භූමි ව්‍යාපාර වගා ගව පට්‌ටි විනාශවීම ආදී බොහෝ නපුරු උපද්‍ර ඇතිවේ. රතු නිවිතියවැල ජපකර සෘතු දෝෂ ඇති කාන්තාවකට උඩින් පන්නවා දියකඩහි බැන්දොත් ඇයට කිළිමාලය හැදී පිටවන ලේ නතර නොවී මරුමුවට පත්වේ.
යන්ත්‍ර මංත්‍ර ඉතිහාසයේ දැක්‌වෙන අන්දමට සූනියන් යාගයෙහි උපත මෙසේය. මහා සම්මත බිසවට වසවත් මරු කළ කොඩි විනය කපා ශුද්ධ කොට ලෙඩ සුවකිරීමට ඔඩ්ඩිස රුසියා ප්‍රධානව දෙවියන් විසින් කළ ශාන්ති කර්මයයි. වසවතු මහා සම්මත බිසවට වින කළේ රාග නිශ්‍රිතව ඇය පොළඹවා ගැනීමට නොහැකි වූ නිසා කළ කොඩි විනයකි. මේ විනය වැදීමෙන් ඇගේ මුළු ශරීරය පුරාම ගිනි විෂ ඇතිවිය, ශරීරය දුර්වර්ණ විය. ආහාර අප්‍රියවීම, ශරීරය දිරා ගොස් කෘෂවීම, හා ඔත්පළවීම සිදුවිය. මේ දුක දුටු විෂ්ණු දෙවියන් ''ඔඩ්ඩිස්' නම් මහා සෘෂිවරයා කැඳවා සකල දේව සභාවද රැස්‌කර මුළුÊරාත්‍රියක් පුරා ශාන්තිකර්මයක් කර කොඩිවින බන්ධනය කපා හැරියේය.
මෙම ශාන්තිකර්මය කරන විට ඇගේ හිසට වැල් ඔටුන්නක් පළඳවා ශරීරයේ ඇති සියලුම සන්ධිස්‌ථාන වන බෙල්ල, දෙවුර, වැලමිටි, දණ හිස්, බඳ වටා, වළලුකර ආදී ස්‌ථානවල වැල් වළලු පළඳවා මංත්‍ර ජපකරමින් කපා හැර ඇත. මුළු රැයක් ශාන්තිකර්මය කර පාන්දර ජාමයේදී අටමඟල ඇඳ ඒ මත ආතුරයා සිටුවා මේ වැල් වළලු කැපීම පුරාණයේ සිටම මංත්‍රවේදීන් කරන සිරිතකි. ඉන්පසු ඇදුරා හෙවත් මංත්‍රවේදියා අටමඟල මත පන්කොළ පැදුරක් එළා ඒ මත උඩුබැලි අතට නිදා මුළු ශරීරයම රතු හෝ පංචවර්ණ රෙද්දකින් වසා පපුව මත විනය කපන්ට අදාළ පුහුල හෝ වෙනත් දේ තබා ආතුරයා කකුල් දෙපසට දමා බස්‌නාහිර දිශාව බලා කඩුවෙන් කපා ඇදුරාගේ ඇඟට උඩින් හිසටත් උඩින් ගොස් බෝධියකින් තුන්වටා ගොස් පේකර වතුර කොතලයක් ගෙන ආතුරයාට බොන්ට දී ඇඟට ඉසිනු ලබයි.
මෙම වැල් වළලු සඳහා යොදා ගන්නේ බෙහෙත් ඖෂධ වැල්ය, සස්‌සඳ, ඉරමුසු, රසකිඳ, හාතාවාරිය, වැල්පෙනෙල, බින්තඹුරු, කයිල, තිත්ත වැටකොළු, සිරැස්, පුහුල්, පුස්‌වැල් රසතැල්, කරිවිල, ඌරල, කිරිබදු, මදුවැල්, පෝටා, දියමිති මස්‌බැද්ද, ආදී වංශාධිපති ඖෂධ වර්ග වැල් වේ.
මෙම කාව්‍යයන්ගෙන් එම ඖෂධ වැල් මෙසේ හැඳින්වේ.
විපුල මෙලක විසූ දනහට වෙර බැඳ නෙක සත
මතුල රැගෙන පස් ඉටි රුව ගැසු කටු ඔහු ගත
පතළව යන ලෙස ඉරි පන්නා නොව මේ තත
මේ කළ විනය හරිනට ගත්වැල් මතුපව සත
හොඬල නියඟලා කැසි පිස්‌සන්ද වැලා
බාඳුරාද රසකිඳ කබරොස්‌ස වැලා
බිම ගිය මදු වැල්ද නිල් වැල් පුහුල් වැලා
පෙනෙල කයිල වැලා ගෙන සහ කොරස වැලා
පුස් වැල්ද හාතාවරිය කබලැස්‌සේ
තැනූ වළලු එල්ලා කිහිල අස්‌සේ
කපන මන්තරෙන් ජපකර රෑ තිස්‌සේ
කැපුව සන් සිඳෙනු කිම කියනුද දස්‌සේ
පුහුල් කිරිඳි බෝ කොළ මෑ වැල් රැගෙන
වෙලා කළු හුයින් කොට දිඹුල පට ගෙන
දෙදන වළලු දෙක තබමින් මුව නො බැන
කපා හරුව නුවණැතියනි නියම දැන
ගොක් කොළ වලින් ඔතාගත් මේ වැල් වළලු පළඳවන්නේ ආතුරයාට විලංගු වැටෙන ආකාරයෙන්ය. වළලු පැළඳීමෙන් පසු ආතුරයා නැතිනම් රෝගියා සම්පූර්ණයෙන්ම විලංගු වැටුණු ලෙසින් සතකු උගුලකට අසුවූ ආකාරයෙන් හිරවී සිටී. එහි අදහස වන්නේ වින බන්ධනවලින් ලෙඩාගේ ශරීරය අකර්මණ්‍ය වී පවතින බව පෙන්වීමයි. ඊට පසු මංත්‍රවේදියා විසින් තමාට පුරුදු මංත්‍ර කියමින්, වැල්වළලු කපා දමයි. ඒ සඳහා මෙවන් මංත්‍රවලින් ගයා සන්ධිස්‌ථානවල ඇති විලංගුවැල් කපා දමයි.
මංත්‍රය - ඕං නමෝ කයිරන්ඩ මංත්‍රප්පේ ගිනි ගිනි කාඩ වින දැවි දැවී කී සලානුම්, ඕං ප්‍රොන් ගුරු රාජා සිසිලම් වින ගිනි ගිනි දැවි දැවී ශරීරයෙන් වින තුති කී සලා හම් ඕං ජවින වින රුපී රාඩාම් එංග වින දැවි දැවී ගිනි ගිනි තීන්දු නැකි කීසලාහම්, ඕං රාමා වෛකුන්ඨ පෝසලා ශරීරයෙන් සිසිල වින ගිනි දැවි දැවී තීන්දු නැති කී සලා හම් ඕං ශිව කමල කෛරුම්මදී කාලේන් ගුල්ම වින ගිනි ගිනි දැවි දැවී කමල කී සලාහම්.
ඉසුලු වළල්ලෙක ගෙල තුන් වළල් ලෙක
උර බැඳි වල්aලෙක ඉණ බැඳි වළල් ලෙක
දකුණු උර සතෙක වම් උරයට සතෙක
දෑත් තර එවැලමිට වළලු තුදු සෙක
දකුණු වටද ලූ එක වළලු තුදු සෙක
දැත් දුනු දෙකක දෙපයේ දුනු දෙකක
සිරස වළල්ලේ පෙණ සිව් උරග යෙක
මේ ලෙස දැන කපන් ඇදුරනි දැන නිසැක
මෙසේ පැළඳි වැල් කපා පසුව සිරසේ ඔටුන්න කපා අවසන්ව අටමගලය කැපිය යුතුයි. මෙසේ වැල් කැපීමෙන් ඕනෑම බලගතු කොඩිවින බන්ධන කැපීයන්නේ ආතු=රයාට යහපත හා සුබ සෙත උදාවන ලෙසටයි.
ගුප්ත විද්‍යාවේදී, සාමවිනිසුරු දේශබන්දු
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ
0 Comments