පීදෙන අන්ධකාරය සමගින් අමුත්තෙක් මිදුලේ හිටගෙන සිටියේය. විදුලි සීනුව කෑ ගසනවාත් සමඟම නවාතැන්පොල අයිතිකාරිය දොර ළඟට පැමිණ හිටගත්තාය. අමුත්තා සහ නවාතැන් හිමිකාරිය අතර කිසියම් කතාබහක් විනාඩි දහයකට පහළොවකට පමණ සීමා විය. අමුත්තා අඳුරේම පිටත් වූ අතර නවාතැනේ අයිතිකාරියගේ දෙතොලේ රැඳුනේ මද සිනහවකි. "ඔන්න ලබන මාසෙ ඉඳලා අල්ලපු කාමරේ නවතින්න තව එක්‌කෙනෙක් එනවා" වීරසිරි කිසිවක් නොකියා හිස් කළ තේ බඳුන පසෙක තබා පුවත්පතේ පිටු පෙරළන්නට විය.
කියූ පරිදිම ඊළඟ මාසයේ පළමුවැනිදා වීරසිරිගේ කාමරයට යාබද කාමරයට අමුත්තෙක් පැමිණියේ ය. එහෙත් සතියෙන් දෙකෙන් වීරසිරිට අමුත්තා අමුත්තෙකු නොවීය. වීරසිරි මෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවක නිලධාරියකු වූ සමරසිංහ මිත්‍රත්වයට හොඳ අපූරු පුද්ගලයෙකු විය. සති අන්තයේ දෙදෙනාගේ මිතුදම කෙතරම් වැඩි වී දැයි කිවහොත් දෙදෙනාම එකම කාමරයකට වී මධුවිතින් සප්පායම් වී බොහෝ දේ ගැන කතා බහ කළහ.
දිනක් සමරසිංහ හදිසියේම සිය ගම් පළාතට ගියේය. සතියකට පමණ පසු නවාතැනට පැමිණි සමරසිංහ ගමේ ගොස් සතියක් ගෙවා දැමීම ගැන කිසිවකුත් සිය මිත්‍රයා සමඟ නොපැවසූ අතර වීරසිරි ද ඒ ගැන වැඩිදුර හාරා අවුස්‌සන්නට වලිකෑවේ නැත. අඩුතරමින් බොහෝ දේ ඉවකරමින් සොයන බෝඩිමේ අයිතිකාරිය පවා සමරසිංහගෙන් කිසිවක් නොවිචාලාය.
ගමට ගොස් පැමිණ තවත් දෙසතියක් ගත වෙත්ම දිනක් රෑ දෙගොඩහරියේ සමරසිංහගේ කාමරය තුළින් ඔහුගේ ජංගම දුරකථනය උගුර පාදන හඬින් වීරසිරිගේ ද නින්ද විසන්ධි විය. පැය භාගයකටත් වඩා සමරසිංහ මොන මොනවාදෝ කතා බහ කරන බවත් වීරසිරිගේ දෙවසනට ගලා ආවද ඒ කිසිවක් හරි හැටි පැහැදිලි වූයේ නැත.
එතැන් සිට සෑම රාත්‍රියකම සමරසිංහගේ කාමරයෙන් ඔහුගේ ජංගම දුරකථනය රාත්‍රි දෙගොඩහරියේ පිබිදෙන අයුරුත් ඒ සමගම සමරසිංහ පැය භාගයක් හෝ ඊට වැඩි වේලාවක් කතා බහේ යෙදී සිටින හඬත් නිසා වීරසිරිගේ කුතුහලය දිනෙන් දින වැඩුනි.
එක් ඉරු දිනයක දෙදෙනා මධුවිතින් සප්පායම් වූ අතර එදා සමරසිංහ පමණ ඉක්‌මවා ගියේය. ඔහු සයනයේ ඇද වැටුනේ කාමරයේ දොර පවා නොවසමිනි. අඩ සිහියෙන් මෙන් තමාගේ කාමරයට පිය නැගූ වීරසිරිට ද නින්ද අහලකටවත් ළඟා නොවීය. සුපුරුදු පරිදි සමරසිංහගේ කාමරය තුළින් ජංගම දුරකථනය පිබිදී කෑ ගසන්නට විය. එහෙත් සමරසිංහ කෙමින් හිඳ ගන්නා සේයාවක් නැත. මෙතෙක් දිනක් වැඩුනු කුහුලින් සිටි වීරසිරි කාමරයට ගොස් සමරසිංහගේ ජංගම දුරකථනය අතට ගත්තේය. එය තවමත් කෑ ගසයි. එහෙත් පුදුමයකි. ජංගම දුරකථනයේ අමතන තැනැත්තාගේ දුරකථන අංකය සටහන් වී නැත. දුරකථනය සුසර කළ වීරසිරි සෙමෙන් කටහඬ අවදි කළේය. එහෙත් ජංගම දුරකථනයෙන් මතුවූ හඬ කිසිසේත්ම ඔහුට අදහා ගත නොහැකි අමුතුම හඬකි. එය මිනිස් කටහඬකට වඩා අමනුෂ්‍යයකුගේ හඬට සමාන විය. පැය භාගයක් තිස්‌සේ දුරකථනයෙන් මතුව හඬ තේරුම් ගැනීමට උත්සාහ කළ වීරසිරි දුරකථනය විසන්ධි වනවාත් සමගම එය තිබුණු තැනින් තබා සිය කාමරයට ගිය ද ඔහුට සුවසේ නිදාගත නොහැකි විය.
පසු දින රාත්‍රි දොළහ වන තෙක් වීරසිරි සිටියේ නොඉවසිල්ලෙනි. එහෙත් එදා දුරකථනය නාද වනවාත් සමඟම සමරසිංහ කිසිදු අපහසුවක් නැතිව කතාබහ කරන අයුරු ඇසුන වීරසිරි විමතියෙන් විමතියට පත්විය.
මාස දෙකකට පමණ පසු දෙදෙනාම යළිත් සාදයකට සහභාගි වූහ. එය කෙළවර වූයේ සමරසිංහගේ පියවි සිහිය විකල් වීමෙනි. එදින ද රාත්‍රි දොළහට දුරකථනය නාද විය. පුදුමයකට මෙන් එදා දුරකථනයේ කතා කරන තැනැත්තාගේ අංකය සටහන් වී තිබිණි. එහෙත් පෙර පරිදිම ඒ ගුප්ත කටහඬ ඔහුට තේරුම්ගත නොහැකි විය. පැය භාගය නිමාවනවාත් සමඟම වීරසිරි දුරකථනයේ ඇමතුම් ලැයිස්‌තුව සොයා ගොස් සටහන් වී ඇති "ලැබෙන ඇමතුම්" හා කාලය නිරීක්‍ෂණය කර, අංකය සටහන් කර ගත්තේය. දවසක් නිවාඩු රැගෙන සමරසිංහගේ ගමට ගිය වීරසිරි මිතුරාගේ මේ අසාමාන්‍ය දුරකථන සංවාදය ගැන සමරසිංහගේ මව සමඟ කතා කළේය.
ඇය දුරකථන අංකය පිරික්‌සීමෙන් පසු මුව අයා ගත්තාය. "ළමයො...... මේ මගේ ලොකු පුතාගේ ෆෝන් එකේ නම්බරේ. එයා හාට් ඇටෑක් එහෙකිං මැරුණා. මළ ගෙදර කාටවත් කිව්වේ නැහැ. අර පුතා සතියක් ගමට ඇවිල්ල හිටියෙ මළ ගෙදර නිසා." වීරසිරිට මෙන්ම සමරසිංහගේ මවට ද සියල්ල අදහා ගත නොහැකි විය. එහෙත් සමරසිංහගේ සොහොයුරා වෙනුවෙන් කරන ලද දාන මානදීම හා පිං පෙත් පැමිණවීමත් සමඟම සියල්ල වෙනස් විය. සුපුරදු ලෙස මැදියම් රැයේ සමරසිංහගේ කාමරයෙන් දුරකථනය කෑ ගැසුවේ නැත. සමරසිංහ මෙන්ම වීරසිරි ද රාත්‍රිය පුරා සුවසේ නිදාගත්හ.
පී.එල්.ජානක විශ්වජිත්
දිවයින පුවත්පත





0 Comments