ගුරු ධනු රාශියට පිවිසීම සහ ග්‍රහ චාරය 2019 - 2020


2019 නොවැම්බර් 05 වනදා ගුරු එතෙක් ගමන් කල වෘශ්චික රාශියෙන් මිදී ධනු රාශියට පිවිසෙන අතර 2020 නොවැම්බර් 20 වනදා දක්වා කාලය තුල ගුරු ග්‍රහයා ධනු රාශියේ ගමන් කරනු ඇත.මෙලෙස ගුරු ධනු රාශියට පිවිසීම වසර 12 කට වරක් සිදුවන සුබදායක සිදුවීමක් වන අතර ගුරු ධනු රාශිය තුල ස්වක්ෂේත්‍ර බලය සහ මූලත්‍රිකෝණ බල ලබයි.සමස්තයක් ලෙස 2019 නොවැම්බර් සිට 2020 නොවැම්බර් දක්වා කාලසීමාව රටක් වශයෙන් ශ්‍රී ලංකාවටත් එහි වෙසෙනා ජනතාවටත් සුබදායක කාලයක් උදාවන බව කිවහැකියි.

මීට පෙර ආසන්න වශයෙන් 1995 දෙසැම්බර් සිට 1996 දෙසැම්බර් අතර කාලයේ ගුරු ධනු රාශියේ ගමන් කල අතර මෙම කාලය රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ නාමය ලොව පුරා ප්‍රසිද්ධියට කතාබහට ලක්වුන කාලයක්.එයට මූලිකම හේතුව වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කංඩායම ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීම හදුන්වන්න පුලුවන්.මීට අමතරව මෙහිම අතුරු පලයක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ආදී අංශයන් තුල වර්ධනයේ මූලික කාලය මේ කාලය.රටේ දේශපාලනික වටපිටාව එතෙක් ගෙවීගිය කාලයට වඩා යහපත් ලෙස පැවතිය.චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන් පාලනය ගෙනගිය අතර බොහෝ සුලු පක්ෂ රටේ ප්‍රධාන දේශපාලන දාරාව සමග එකතු උනා.දේශපාලන මතවාදයන්ගෙන් තොරව කියනව නම් මෙම කාලය එතෙක් පැවති , ගෙවීගිය කාලයට වඩා රට යම් සුබ දිශාවකට ගමන් කල.රටට නිසි මගපෙන්වීම සහ නායකත්වයන් ලැබුන.මුලුගැන්විලා පැවති ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ නැවත යහ දේශපාලන ගමනක් ඇරබුවෙ මේ කාලයේ.

මෙතනින් පසුව 2007 නොවැම්බර් - 2008 නොවැම්බර් අතර කාලයෙ නැවත ගුරු ධනු රාශිය හරහා ගමන් කලා.මෙම කාලය ලංකාවේ වටපිටාව කලබලකාරී තත්වයක පැවතුනා.ත්‍රස්තවාදයට එරෙහි අවසන් සටන ක්‍රියාත්මක උන මේ කාලයේ රටේ දේශපාලන නායකයන් පක්ෂ පාට බේධයෙන් තොරව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුක ආණ්ඩුවට සහයෝගය දැක්කුව.ඒ නිසා ප්‍රබල යුද්ධයක් අතර තුර රටේ සංවර්ධනය සහ ජමාජ සුබසාධනය පිලිබදවත් යම් ප්‍රගතියක් මේ කාලයෙ ඇතිවුනා.රටේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ඇරබුණා.රටේ ජනතාවද මේ කාලයේ එකා මෙන් බැදීමෙන් කටයුතු කලා.මේ කාලෙ රණවිරුවන් වෙනුවෙන් සියලු ජාතීන් ජනතාව එකමුතුව සිටගත්ත.අද පවතින සාමකාමි සහ යම් ආකාරයක සංවර්ධනයක මූලික අවස්තාවන් මේ කාලය තුල සිදුකල දේ.මීට අමතරව රටේ පරිපාලන අංශයද , ආගමික කටයුතු සහ සංස්කෘතික අංශයන්ද වර්ධනීය අවස්තාවක පැවතිය.ආගමික නායකයන් රජු හෙවත් නායකයා සමග උපදේශනාත්මක යහපත් සම්බන්ධයක් මේ කාලයේ පැවතිය.

ඉන් අනතුරුව වසර 12 කට පසු ගුරු ග්‍රහයා 2019 නොවැම්බර් 2020 නොවැම්බර් අතර කාලයේ ධනු රාශිය හරහා ගමන් කරනව.මෙම අවස්තාවද පෙරකී අවස්තාවන්ට වඩා යම් විශේෂ හේතු සාධක සමග යහපත් වනවා ඇති.මේ කාලයට සමාන්තරව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වෙනවා.මෙහිදී රටේ ජනතාව ස්තිරවම බුද්ධිමත්ව ස්තාවර තීන්දුව ගන්නවා ඇත.බහුතර පිරිසක් පක්ෂ පාට බේධයෙන් තොරව රටේ ඉදිරි ගමන වෙනුවෙන් සෘජු නායකත්වයක් පත්කරගනු ඇත.එම නායකත්වය හරහා රටට නව යහපත් වැඩ පිලිවෙලක් සමග කටයුතු ආරම්බ වනු ඇති.රටේ ඉදිරි ගමනට පැහැදිලි මගපෙන්වීමක් මෙම කාලය තුල  ලැබෙනවා ඇති.ආගමික පූජක සහ ප්‍රභූ මග පෙන්වීම් නායකත්වයට ලැබෙනා කාලයක්.ගෙවීගිය කාලයට වඩා ඉදිරි වසර තුල ජනතාව කායික මානසික සුවයකින් කටයුතු කරනවා ඇති.ආගමික සංස්කෘතික , අධ්‍යාපණික අංශයන්ගේ වර්ධයක් ඇතිවන , ක්‍රීඩා අංශයේ නැවත ජයග්‍රහනයන් ලබනා කාලයක්.අසල්වැසි රටවල් මෙන්ම ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාව සමග යහපත් සබදතා පවත්වන අතර ඔවුන්ගේ උදව් උපකාර මගපෙන්වීම් ලැබෙනවා ඇති.රටේ දරු උපත් ප්‍රමාණය වර්ධනක් මෙම කාලයේ ඇතිවනු ඇති.ජනතාව අතර ගුණ ධර්ම වර්ධනය වන බෙදී වෙන්ව පැවති , දුරස්ව අමනාපයෙන් සිටි , අනවබෝධයෙන් සිටි පිරිස් නැවත එක මුතුව එක්සත්ව කටයුතු කරන කාලයක්.වැරදි පැවති අය එම වැරදි වලින් ඉවත්වන්න , යහපත් පුද්ගලයෙකු වන්නට මෙම කාලය තුල උත්සහ දරනු ඇති.

මෙලෙස ගුරු ධනු රාශියට පිවිසීම සහ එහි සිදුවන ග්‍රහ චාරය සමස්තයක් ලෙස රටට ජනතාවට සුබදායක සුවදායක වන අතර සියලුම ලග්න හිමියන්ට යම් යම් ආකාරයේ සහනයක් යහපතක් ඇතිවනවා ඇත.කෙසේ වෙතත් ලග්න කිහිපයකට කර්ම ගුරු නම් අපලයද මෙම කාලය තුල ක්‍රියාත්මක වන නමුත් රාශි බලයෙන් ගුරු බලවත්වීමේ සහනයද ඒ ඒ ලග්න හිමියන්ට ලැබෙනවා ඇත.

මේෂ ලගනය , මිතුන ලග්නය , සිංහ ලග්නය , වෘශ්චික ලග්නය සහ කුම්භ ලග්න හිමියන්ට ගුරු ග්‍රහයා ධනු රාශියට පිවිසීම විශේෂ වශයෙන් සුබදායකවේ.

වෘෂභ ලග්නය , කටක ලග්නය , තුලා ලග්නය සහ මකර ලග්නයෙන් උපන් අය සදහා මෙම කාලය තුල කර්ම ගුරු නම් අපලය ක්‍රියාත්මක වනු ඇත.

කන්‍යා ලග්නය , ධනු ලග්නය සහ සහ මීන ලග්න හිමියන් සදහා ගුරු ධනු රාශිගතවීම සුබාසුබ මිශ්‍රඵල ඇතිකරයි.

මේ අනුව මේෂ ලග්නයේ සිට මීන ලග්නය දක්වා ලග්න දොලොසින් උපන් ඔබට ගුරු ධනු රශිගතවීම සහ එහි ග්‍රහ චාරය පහතාකාරයේ ප්‍රතිඵල සාපේක්ෂ ලෙස ඇතිකරයි.

මේෂ ලග්නය - 

වාසනාවන්ත කාලයකි.පවුලේ සාමය සමගිය එකමුතු බව ඇතිවේ.ඉගෙනීම් කටයුතු කරනා අයට යහපත් ප්‍රතිපල ලැබෙනා කාලයක් වන අතර නව අධ්‍යාපනික අවස්තාවන් උදාවේ.තරග විභාගයන්ගෙන් ජය හිමිවේ.උසස් යහපත් හිතමිත්‍ර සබදතාවයන් ඇතිවන අතර ජීවිතයට යහපත් මගපෙන්වීමක් හිමිවේ.විශේෂ ආගමික කටයුතු ආදියට සම්බන්ධ වීමට ලැබෙනා අතර ආගම දහම පිලිබදව වෙනාදට වඩා පැහැදීමක් ඇතිවේ.දේව වන්දනාවට යොමුවේ.වන්දනා ගමන් සංචාරක ගමන් යෙදේ.පිට පලාත් සමග ගනුදෙනු සබදතා ඇතිවන අතර ඒවායෙන් යහපත් ප්‍රතිඵල ලැබෙනා කාලයකි.මුදල් ආර්තික කටයුතු , රැකියාව සම්බන්ධ කටයුතු යහපත් වන අතර එම අංශයන්ගේ දියුණුවක් වර්ධනයක් බලාපොරොත්තු විය හැක.විවාහ මංගල අවස්තාවන් යෙදෙනා අතර අවිවාහකයන්ට තම බලාපොරොත්තු සපල කරගැනීමට අවස්තාව ලැබෙනවා ඇත.එමෙන්ම පවුලට නව සාමාජිකයන් එක්වන කාලයක් වන අතර දරුඵල ලාබාදියට අවස්තාව පවතී.තමා තුල පවතින ප්‍රධාන යහපත් බලාපොරොත්තු කිහිපයක් හෝ ඉටුකරගැනීමට අවස්තාව සැලසෙනවා ඇත.

වෘෂභ ලග්නය -

වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් අටවැන්නට ගුරුගේ පැමිණීම සිදුවන අතර මෙය කර්ම ගුරු අපලයේ එක් අවස්තාවක් වේ.මේ අනුව අපලයක්ද මේ සමග යෙදෙනා අතර රාශි බලය හේතුකරගෙන යම් සහනදායී බවක් ඇතිවනු ඇත.ගුරු මහදසා අතුරු දසා ගෙවනා අයත් , ගුරු මහදසාවේ රාහු කේතු යන අතුරු දසා ගෙවෙනා අයත් ප්‍රවේසම් විය යුතුය.....විවාහක පාර්ශවයන්ගෙන් ලැබීමට විශේෂ ලැබීම් පැවතියේ නම් ඒවා ලබාගැනීමට අවස්තාව සහිත අතර විවාහ පාර්ශවයට යම් ලැබීමල් ලාබයක් සහිතවේ.එහෙත් මුදල් ආර්තික තත්වය සම්බන්ධව දුරදිග බලා කටයුතු කලයුතුවේ.කාලයක් තිස්සේ ප්‍රමාදවූ ණයක් , මුදලක් ලැබෙනවා ඇත.පවුල් ජීවිතය සම්බන්ධව සැලකිලිමත්විය යුතු අතර විවාහයට සම්බන්ධ වන ආකාරයෙන් නින්දාවකට අපහාසයකට අවස්තාවක් සහිතවේ.ස්ත්‍රී පුරුෂ කම්සැප ලාබ හිමිවනවා ඇත.හිතමිත්‍ර සබදතාවයන් ඇතිවේ.සුබ බලාපොරොත්තුවෙන් කරනා කටයුතු මුල් අවස්තාවේ සාර්තක උවත් අවසාන වශයෙන් කිසියම් විශේෂ ගැටලුවක් මතුවිය හැක.ඉදිරි වසර තුල සුබ යැයි සිතනා ඕනෑම දෙයක් තුල නොදකින නොදැනෙන අයහපතක් පැවතිය හැක.එම නිසා දුරදිග බලා බුද්ධිමත්ව කටයුතු කිරීම යහපත් වනවා ඇත.

මිතුන ලග්නය -

මිතුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවන අතර බාධක ස්තානයට බාධක ග්‍රහයාගේ පැමිණීම අයහපතක් වන නමුත් කේන්ද්‍රස්තානයක යෙදීම සහ රාශි බලයෙන් යුතුවීම මත සුබදායකවේ.ජීවිතයේ මෙතෙක් පැවති තත්වයන්ට වඩා යම් සහනයක් යහපතක් ඇතිවනු ඇත.ස්ත්‍රී පුරුෂයන්ට ආදර බන්ධන විවාහ බන්ධන ඇතිවන අතර විවාහ අපක්ෂකයන්ගේ අපේක්ෂාවන් ඉටුකරගැනීමට අවස්තාව සැලසෙනවා ඇත.දරුඵල ලාබ බලාපොරොත්තු අයට එම බලාපොරොත්තු ඉටුකරගැනීමට හැකිවනු ඇත.උත්සහ කලයුතුවේ.එමෙන්ම විවාහය පවුල් ජීවිතය සමබන්ධව මෙතෙක් අර්බුධ ගැටලු පැවතියේ නම් ඒවා විසදා ගැනීමට අවස්තාව සැලසේ.පවුලේ එකමුතුව ඇතිවේ.කම්සැප ලාබ ලැබේ.මුදල් ලාබාදියට යහපත් අතර කලක සිට කරගෙන එන කටයුතු තුල යහපතක් ඇතිවේ.සමාජීය වශයෙන් පිලිගැනීමක් වටිනාකමක් ලැබේ.රැකියාවේ උසස් වීම් සහ සුහද මාරු ආදියට ඉල්ලුම් කලයුතු කාලය වන අතර ඒවාට තමාට යහපත් ප්‍රතිඵල ලැබෙනවා ඇත.උසස් වීම් බලාපොරොත්තු අයටත් නව රැකියා බලාපොරොත්තුවෙන් සිටිනා අයටත් විදෙස් ගතවීම් බලාපොරොත්තු අයටත් යහපත් කාලයකි.තමාට මෙතෙක් පැවති බාධක අවහිරතාවයන් මගහැරී යන නමුත් වසවිස ආදියෙන් ප්‍රවේසම් වියයුතුවේ.

කටක ලග්නය -

කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හයවැන්නට ගුරු ග්‍රහයාගේ පැමිණීම සිදුවේ.මෙයද කර්ම ගුරු අපලයේ එක් අවස්තාවක් වන අතර රාශි බලය හේතුවෙන් සුබාසුබ මිශ්‍රඵල බලාපොරොත්තු විය හැක.රැකියාව ආදායම් සම්බන්ධ කටයුතු වෙනසකට වෙනස්වීමකට ලක්විය හැකි අතර විශේෂ ලාබ බලාපොරොත්තුවීම අපහසු නමුත් දැනට පවත්නා ආර්තික තත්වය සමාකාරයෙන් පවත්වාගත හැක.ඉදිරියේ රැකියාවට සම්බන්ධ ගැටලු මතුවිය හැක.විවාහය තුල ස්වාමියා බිරිද අතර අවිස්වාසයන් ඇතිවිය හැකි අතර පවුල් ජීවිතය සමබන්ධව මතබේධාත්මක බවක් ඇතිකල හැක.එසේ නොවන්නේ නම් අනෙක් පාර්ශවයට සෞඛ්‍යාදී දුර්වලතා හෝ මතුවිය හැක.කම් සැප ලාබ ලැබෙනා නමුත් අනියම් ආකාරයෙන් කටයුතු කිරීමට ගොස් තම තත්වය ගෞරවය වටිනාකමට හානි ඇතිකල හැකි අතර රහස් පවත්වාගැනීමට මෙම කාලය තුල අපහසුවේ.අධ්‍යාපනාදී කටයුතු සම්බන්ධව ගත්විට සමාන තත්වයන් පවතින අතර ජ්‍යෙතිෂය , වෙනත් ගුප්ත ධර්මයන් පිලිබදව පැහැදීමක් ඇතිකරනු ඇත.සතුරන් මිතුරු වන , පසුබෑම් ඇතිකරන නමුත් සතුරුව මිතුරුවන අය පිලිබදව විස්වාසය නොතැබිය යුතු අතර විස්වාසවන්තයන් මෙම කාලය තුල කුමන අංශය තුල උවද පවත්වා නොගැනීම යහපත් වනු ඇත.වස විසෙන් , සර්පයන් සුණඛයන් ආදී සතුන්ගෙන් ප්‍රවේසම් වියයුතු අතර රාත්‍රී ගමන් බිමන් අයහපත්වේ.

සිංහ ලග්නය -

සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවන අතර වාසනාවන්ත කාලයක් උදාවේ.තම කටයුතු , අරමුණු බලාපොරොත්තු ඉටුවන , නව සහ යහපත් හිතමිත්‍ර සබදතා ඇතිවන , යහපත් මගපෙන්වීම් , ආධාර උපකාර හිමිවන , ආදර ප්‍රේම සබදතා ස්තිරවම ඇතිවන , ජීවිතයට සැබෑ කල්‍යාණ මිත්‍රයෙකු වටිනා අයෙකු අහමුවන , යහපත් සුබදායක කාලයක්වේ.නව අධ්‍යාපණික අවස්තාවන් හිමිවන , බාල්පොරොත්තු වන්නේ නම් නව උසස් පාසලක අවස්තාව හිමිවන , නිසි ගුරු වරු පිරිසකගේ මගපෙන්වීම් සහිත , තරග විභාග ආදියෙන් ජය හිමිවන කාලයක්වේ.රැකියාවේ යහපත දියුණුව , බලාපොරොත්තු වන්නේ නම් උසස් වීම් සහිත , මුදල් ලාබ , හවුල් කටයුතු තුලින් ලාබ හිමිවන කාලයකි.තම වටිනාකම , ගෞරවය වර්ධනය වන අතර සමාජීය වශයෙන් පිලිගැනීමට ලක්වන කාලයකි.විදෙස්ගතවීම් අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා අවස්තාව ලැබෙනවා ඇත.විවාහයට සුබදායක අතර පවුලේ සමගිය බැදීම වර්ධනයවේ.දරුවන් පිලිබදව තබා ඇති බලාපොරොත්තු යම් ආකාරයකින් කාලානුරූපීව සාර්තක වන , බලාපොරොත්තු වන්නේ නම් දරුඵල ලාබ සහිත කාලයක් වනු ඇත.සමස්තයක් ලෙස යහපත්වේ.

කන්‍යා ලග්නය - 

කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නයෙන් සිව්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවේ.රාශි බලයෙන් යුතු වීම හේතුවෙන් යම් පමණක සුබ ප්‍රථිඵල හිමිවනු ඇත.නිවාස දේපල සම්බන්ධ කටයුතු ආරම්බ කිරීමට අවස්තාව ලැබෙනා අතර මෙතෙක් අතරමග නැවතී පැවති කටයුතු නැවත ආරම්බ වනවා ඇත.එමෙන්ම විකුණා ගැනීමට නොහැකි වූ දේ විකුණා ගැනීමට සහ නව මිලදී ගැනීම් සිදුකිරීමට සුබදායක අතර එවැනි අවස්තාවන් තම බලාපොරොත්තු අනුව ඉටුවනවා ඇත.ඉගෙනීම් ආදී කටයුතු සදහා විශේෂ අයහපතක් නැත.නිවසට අමුත්තන්ගේ පැමිණීම සිදුවේ.මව් පාර්ශවයේ ඤාතීන් සමග සබදතා වර්ධනය වනවා ඇත.හිතමිත්‍ර ලාබ ලැබෙනා නමුත් ඇතිවන සබදතා වෙන්වීමකට හදිසියේ ලක්වේ.ආදර ප්‍රේම සබදතාවයන්ට විරහව එක්වේ.දරුවන් සම්බන්ධව අසුබදායක අතර දරුවන්ගේ ගැටලු සදහා මුහුණ දීමට සිදුවනු ඇත.රැකියාවේ විශේෂ ගැටලුවක් නොමැති අතර උසස්වීම් බලාපොරොත්තු වූ සහ ස්තාන මාරු බලාපොරොත්තු අයගේත් , නව රැකියා බලාපොරොත්තු වන්නන්ගේත් එම බලාපොරොත්තු යම් පමණකට හෝ ඉටුකරගැනීමට අවස්තාව සැලසෙනවා ඇත.ලේ විසවීම් , වසවිස ශරීරගතවීම් ආදියට අවස්තාව සහිත අතර හදිසියේ රෝහල් ගතවීමකට හෝ නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදුවිය හැකිය.

තුලා ලග්නය - 

තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් තුන්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවන අතර මෙයද කර්ම ගුරු අපලයේ එක් අවස්තාවක්වේ.රාශි බලයෙන් යුතු හෙයින් යම් සහනයක් හිමිවන අතර සුබාසුබ මිශ්‍රඵල සහිතව කාලය ගෙවීයයි.විවාහ බලාපොරොත්තු වන්නන්ගේ එම බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවස්තාව උදාවන අතර අඹුසැමියන් අතර මතබේධාත්මක තත්වයන් පැවතියේ නම් ඒවා විසදා ගැනීමට පවුලේ සමගිය තත්වය යම් පමණකට වර්ධනය කරගැනීමට හැකිවනවා ඇත.පවුලට තම උදව් උපකාර හිමිවන නමුත් එහෙත් තමාට ස්තුති ප්‍රසංසා නොමැති වන අතර සහෝදර සහොදරියන්ට යහපත් වන අතර ඔවුන් පිළිබදව මෙතෙක් පැවති අසුබකාරී තත්වයන් අවසන් වනවා ඇත.ඔවුන් විවාහ අපේක්ෂාවෙන් සිටී නම් එම අපේක්ෂාවන් ඉටුකරගැනීමට අවස්තාව සැලසෙනවා ඇත.ඉගෙනීම් සම්බන්ධ කටයුතු පිළිබදව විශේෂ ගැටලුවක් නොවනා නමුත් උසස් අධ්‍යාපණික අවස්තාවන්ට බාධාවීම් ඇතිවිය හැකිය.කෙසේ වෙතතිගෙනීම් සම්බන්ධව වෙනදාට වඩා සහනයක් ඇතිකරවනු ඇත.කරන කියන කටයුතු තුල සාර්තක වීම් සහිත නමුත් දුරදිග බලා කලයුතු කල යුතුය.මුදල් ප්‍රවේසමෙන් පරිහරණය කල යුතු අතර හදිසි වියදම් , පාඩු අලාබ ඇතිකල හැකිය.අනියම් සබදතා , නොගැලපෙන හිතවත්කම් ඇතිවන අතර අනියම් කම්සැප ලාබ ලැබේ.එහෙත් රහස් ආරක්ෂාකරගැනීමට නොහැකිවීම හේතුවෙන් නොසිතූ ගැටලු 2020 මාර්තු මාසයෙන් ඉදිරියට ඇතිකල හැකිය.නින්ද අපහාසයන්ට , නීතිමය ගැටලු වැනි තත්වයන්ට ලක්වීමට , පවතින සෞඛ්‍ය දුර්වලතාවයන් වර්ධනය වීමට අවස්තාව පවතී.

වෘශ්චික ලග්නය -

වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දෙවැන්නට ගුරුගේ පැමිණීම සිදුවන අතර මෙතෙක් පැවති ලග්න ඒරාශ්ටක අපලයේ අසුබ තත්වයන් සමනය වනවා ඇත.විශේෂ යහපත් කාලයක් උදාවන අතර පවුලේ දියුණුව සමගිය යහපත ඇතිවන කාලයක්වේ.එමෙන්ම මුදල් ආර්තික තත්වයන්ට මෙතෙක් පැවති අවහිරතාවයන් අවසන් වනවා ඇත.රැකියා ආදායම් මාර්ග සම්බන්ධ බලාපොරොත්තු ඉටුවන කාලයක් වන අතර ලාබ අපේක්ෂාවෙන් මෙතෙක් කල කටයුතු යම් විශේෂ සහනයකට ලක්වේ.රැකියාවේ දියුණුව උසස් බව ඇතිවේ.රැකියාව තුල උසස්වීම් බලාපොරොත්තු විය හැකි අතර නව රැකියා බලාපොරොත්තු ඉටුවේ.එමෙන්ම විවාහ මංගල අවස්තාවන් යෙදෙනා අතර තමාගේ තත්වය ගෞරවය වටිනාකම සම්බන්ධව යහපත ඇතිවේ.සමාජීය වශයෙන් පිළිගැනීමට ලක්වනවා ඇත.දරුඵල ලාබාදියට විශේෂ අවස්තා මෙම කාලය තුල යෙදෙනවා ඇත.අධ්‍යාපණික කටයුතු තුලද සාර්තකත්වයන් ලැබෙනා අතර උසස් ඉගෙනීම් අමතර විශේෂ අධ්‍යාපණික අවස්තාවන් සැලසෙනවා ඇත.තරග විභාග ආදියෙන් ජය ඇතිකරගත හැකිය.සංචාරක ගමන් දුර බැහැර ගමන් , වන්දනා ගමන් යෙදෙනවා ඇත.බලාපොරොත්තු ආකාරයට යම් යම් විශේෂ වටිනාකම් සහිත දේ මිලදී ගැනීමට හැකි වනවා ඇත.අමනාපයෙන් දුරස්ව සිටි අය නැවත එක්වන අතර නව හිතමිත්‍ර සබදතා , ආදර ප්‍රේම සබදතා ඇතිවනවා ඇත.

ධනු ලග්නය -

ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නය රාශියට ගුරුගේ පැමිණීම සිදුවන අතර මෙතෙක් පැවති අසහනකාරී අසුබකාරී තත්වයන්ට සහනය ඇතිවනවා ඇත.ගෙවීගිය කාලය තුල පැවති තත්වයට ගෞරවයට හානිවීම් , දුරදිග නොබලා කල කටයුතු හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්වයන්ට සහනය හිමිවනවා ඇත.විවාහය පවුල් ජීවිතය සම්බන්ධව පැවති ගැටලුකාරී තත්වයන් සමනය වනවා ඇත.දුර බැහැර ගමන් , සංචාරක වන්දනා ගමන් යෙදෙනවා ඇත.විදෙස්ගතවීමේ බලාපොරොත්තු ඉටුකරගැනීමට හැකිවන කාලයකි.රැකියාවේ ස්තාන මාරු , රැකියාවේ උසස්වීම් ආදියද නව රැකියා බලාපොරොත්තුද මේ සමග ඉටුවනු ඇත.එමෙන්ම හිතමිත්‍ර සබදතා ආදිය යහපත් ආකාරයෙන් ඇතිවනු ඇති අතර දීර්ගකාලීනව පැවැත්විය හැකි හිතමිත්‍රතා ඇතිවේ.අධ්‍යාපණික කටයුතු හි නියුතු අය සදහා මෙතෙක් පැවතියාට වඩා යහපතක් වර්ධනයක් අපේක්ෂාකල හැක.මෙම කාලසීමාව තුල තම ගුණ ධර්ම යම් යහපත් බවට ලක්වන නමුත් හිතුවක්කාර ගතිගුණ තත්වයන් ඇතිකරනා අතර අනෙකාගේ අවවාධ අනුසාසනා ගරු නොකරනා කාලයකි .එම නිසා හදිසි නොසිතූ ගැටලු ඇතිවිය හැකි අතර රහස් හෙලිවීමක් නිසා ගැටලුවකට ලක්වනවා ඇත.පෙනෙනා සහ ඇතිවන යහපත් බව හේතුවෙන් ඉදිරිය පිළිබදව නොසිතා කටයුතු කල හැකි අතර එම නිසා අනාගතයට විශේෂ ගැටලු කිහිපයක් ඇතිවනු ඇත.

මකර ලග්නය - 

මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොලොස්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවන අතර , මෙය කර්ම ගුරු අපලයේ අවසන් අවස්තාවවේ.රාශි බලයෙන් ගුරු ග්‍රහයා බලවත්වන හෙයින් යම් යහපතක් සහනයක් මෙම කාලය තුලදී බලාපොරොත්තු විය හැක.තම තත්වය ගෞරවයට හානිවීමක් , නින්දාවක් අපහාසයක් සිදුවන හේතු ඇතිවිය හැකි බැවින් විශේෂයෙන් සැලකිලිමත්විය යුතුවේ.උදාහරන ලෙස ඉතා විස්වාසවන්ත , තමාගේ දැන නුවන අනුව යහපත් යැයි සිතනා අයෙකු සමග සබදතා හිතවත්කම් , තමා තුල ඉතා විස්වාසවන්ත ලෙස ඇතිවිය හැකි අතර එම සබදතාවයම අවසාන අවශයෙන් මානසික නිදහස දුර්වල කිරීමට සහ තමාට නින්දාවක් ඇතිවීමට හෙතු වනු ඇත.සබදතා හිතවත්කම් වෙනදාට වඩා වැඩි ආකර්ශණයකින් යුතුව ඇතිවන නමුත් ප්‍රවේසම් වියයුතුවේ.විවාහ පවුල් ජීවිත තුලට සැක සංකා ඇතිවනවා ඇත.ස්වාමියා භාර්‍යාවට අසුබදායක විපත්තිදායක කාලයක්වේ.එමෙන්ම තමාට සතුරන් සතුරුකම් ඇතිවනවා ඇත.අනියම් ආකාරයේ හෝ නීතියට බාධා වන ආකාරයෙන් කටයුතු සිදුවිය හැක.නීතිමය ගැටලු මතුවීමට , දරුවන් සම්බන්ධව අසුබ යෙදීමට මේ කාලයේ අවස්තාව පවතී.එමෙන්ම අසල්වැසි සබදතාවයන්ට හානි සහෝදර සහෝදරියන්ට විපත් කරදර ආදිය ඇතිකරයි.වස විසෙන් , සර්පයන් සුණඛයන් ආදී සතුන්ගෙ ප්‍රවේසම් විය යුතුය.බෝවන රෝග , ඩෙංගු වැනි විශේෂ රෝගයන්ට හේතු සහිතයි.

කුම්භ ලග්නය - 

කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් එකොලොස්වැන්නට ගුරුගේ පැමිණීම සිදුවන අතර ඉතා යහපත් සුබදායක කාලයක් උදාවනු ඇති අතර ලාබයද දියුණුවද ඇතිකර ගැනීමට හැකිවනවා ඇත.මෙම කාලය තමා කරන කියන රැකියාව සම්බන්ධවත් මුදල් ආර්තික තත්වයන් සමබන්ධවත් මෙතෙක් පැවතියාට වඩා වර්ධනයක් ඇතිවනු ඇත.නව කටයුතු ආරම්බ කිරීමට යහපත්වේ.පවුලේ සාමය සමගිය ඇතිවන අතර පවුලට නව සාමාජිකයන් එක්වේ.විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටුවන අතරම දරුඵල ලාබ ලැබෙනවා ඇත.විශේෂ යහපත් හිතමිත්‍ර සබදතාවයන් ඇතිවන , තරුණ තරුණියන් අතර ආදර ප්‍රේම සබදතා ඇතිවන කාලයකි.නමුත් පවතින සබදතාවයන් වෙනසකට ලක්වනවා ඇත.එමෙන්ම සමාජීය වශයෙන් පිලිගැනීම් , තත්වයන් ගෞරවයන් හිමිවන කාලයක්වේ.ගරු නම්බු , ස්තුති ප්‍රසංසා සහ රැකියාව ආදියේ උසස්වීම් ඇතිකරගත හැක.එමෙන්ම මෙම කාලය තුල තම දේපලාදී අයිතීන් තහවුරු කරගැනීමට , නව දේපලක් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා ඇත.නව අධ්‍යාපනික අවස්තා හිමිවන අතර  , විශේෂ ඉගෙනීමකට අවස්තාව ලැබෙනවා ඇත.විදෙස්ගතවීම් , නැවත සිය රට පැමිණීම් සාර්තකවේ.

මීන ලග්නය -

මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දසවැන්නට ගුරුගේ පැමිණීම සිදුවන අතර ගෙවීගිය කාලය දෙස බලන විට , එම කාලයේ පැවති තත්වයන්ට වඩා විශේෂ යහපත් බවක් ඇතිවනවා ඇත.මානසිකව පැවති අසහනකාරී විදවීම් සහිත මානසිකත්වයට සහනය ඇතිවේ.රැකියාව , ආදායම සම්බන්ධ තත්වයන්ට යහපත් බවක් ඇතිවන අතර දියුණුවට ගන්නා උත්සහයන් සාර්තක වනවා ඇත.රැකියාව තුල උසස්වීම් ආදිය ඇතිකරයි.එමෙන්ම තම විවාහය පවුල් ජීවිතය සම්බන්ධ තත්වයන්ට යහපත් වන නමුත් දරුවන් සම්බන්ධව අසුබදායකවේ.දරුවන්ගේ ගැටලු ප්‍රශ්ණ සදහා මැදිහත් වීමට සිදුවනවා ඇත.විවාහ බලාපොරොත්තු , දරුඵල සම්බන්ධ බලාපොරොත්තු ඉටුකරගැනීමට අවස්තාව සැලසේ.කෙසේ වෙතත් ඇතිවන යම් යම් සුබ තත්වයන් තුල ඉදිරිය පිලිබදව සහ තමා පිලිබදව අධි තක්සේරුවකින් කටයුතු කරන අතර මෙම නිසා තමාගේ ප්‍රමාණය ඉක්මවා හෝ තම සීමාවෙන් පිට කටයුතු කිරීමට ගොස් විශේෂ අපහසුතාවයන්ට ලක්විය හැක.මෙයම හිතමිත්‍ර සබදතා තුලද ඇතිවිය හැකි අතර හිතමිත්‍රයා පිලිබදව දැඩි විස්වාසයෙන් යුතුව කටයුතු කිරීම විශේෂ නොසිතූ ගැටලු ඇතිවීමට හේතු වනවා ඇත.

හඳහන ලංකා ජොතිෂ්‍යය සේවය
ආලෝකය.කොම් වෙනුවෙන් -
ජනක පී කුමාර