භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තරම් මනා රූ සපුවකින් හෙබි අතිශයින් ආකර්ෂණීය විශිෂ්ට පෞරුෂත්වයක් තිබූ කිසිවකු එදා මෙදා තුර ලෝකයේ පහළ වූයේ නැත. මතු පහළවන්නේද බුදුවරයකු පමණි. බුදුන් දවස වක්‌කලී නම් බමුණෙක් සිටියේය. ඔහු බුදුන් වහන්සේ වඩින පසුපසම ගියේ මේ ශෝභන ශරීරයේ ලස්‌සන දකින්නටය. පසුව ඔහු පැවිදි වූයේය. ඒ සත්‍යය අවබෝධ කර ගැනීමට නොවේ. වක්‌කලී හිමියෝ බුද්ධ ශරීරයට වශීවී නිතර උන්වහන්සේ පසුපසම සිටින්නට පුරුදු විය.
බුද්ධ ශරීරයට වශී වූ මාගන්දියා බැමිණිය උන්වහන්සේ සමඟ විවාහවීමට කළ ප්‍රාර්ථනාව ඉටු නොවූ විට බුදුන් සමඟ වෛර බැන්දේය.
බුදුන් දවස කලා ශිල්ප හැටහතරක් උගන්වන ලද්දේය. ඒ ශිල්පවල හතලිස් තුන්වැනි හා හතළිස් හතරවැනි විෂයයන් වූයේ ස්‌ත්‍රි හා පුරුෂයන්ගේ අංග ලක්‌ෂණ විද්‍යාවයි. මෙම පුරුෂ ලක්‌ෂණ තිස් දෙකක් ඇතිව උපන් කෙනකු සක්‌විති රජ වන බව හෝ බුදු බව ලබන බව කියා තිබේ. එසේ කියන්නේ වේදයෙහි නිර්මාතෘවරුන් වන සෘෂිවරුන්ය.
එහෙත් අංග ලක්‌ෂණවල සෘෂිවරුන් නොදන්නා කොටසක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබේ. එය දීඝ නිකායේ ලක්‌ෂණ සූත්‍රයේ මෙසේ කියෑවෙයි. "පුරුෂ ලක්‌ෂණ ශාස්‌ත්‍රය බාහිර තාපස නිකාය වලත් සෘෂිවරයන්ද දැන ඉගෙන ගත් එහෙත් ඒ විශේෂ පුරුෂ ලක්‌ෂණ ඇතිවීමට හේතු දන්නේ නැත" යනුවෙනි.
විශේෂ පුරුෂ ලක්‌ෂණ මොනවාද? ඒවා ඇතිවීමට හේතුවූ කර්ම මොනවාද? එහි විපාකය හෙවත් ආනිශංස කවරේද යන්න බුදුහු වදාළහ. අංග ලක්‌ෂණ විද්‍යාව යනු හුදු මිථ්‍යා මතයක් නොවන බව දීඝ නිකායට අයත් මහා පදාන සූත්‍රය හා ලක්‌ෂණ සූත්‍රය කියවන විට මනාව අවබෝධ වන්නේය. මහා පුරුෂ ලක්‌ෂණ තිස්‌දෙකක් එහි සඳහන් වේ.
මහා පුරුෂ ලක්‌ෂණ 32 පිළිබඳවම විස්‌තර කිරීමට මෙම ලිපිය ප්‍රමාණවත් වන්නේ නැත. එහෙත් ඉන් කිහිපයක් වත් විස්‌තර කිරීම මෙම ශාස්‌ත්‍රය හඳුනාගැනීමට ඉවහල් වේයෑයි සිතමු.
ස්‌ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ ශරීර අවයවයන් පිහිටා ඇති ආකාරය අනුව ශුභා ශුභ දැනගැනීම අංග ලක්‌ෂණ විද්‍යාවේ පදනමයි.
මේ අනුව නළලේ රිදී පාට බුබුළක් වැනි දකුණට කැරකුණු රෝමයක් තිබීම මහා පුරුෂ ලක්‌ෂණයකි. පෙර ජාතිවල බොරුවෙන් වැළකී සත්‍යයම කතාකළ බව ඊට හේතුවයි. එහි ආනිශංස නම් මහා විශාල පිරිස් බලයක් ඇතිවීමයි.
ශරීරයේ සම රන්වන් පාට වීම මහා පුරුෂ ලක්‌ෂණයකි. පෙර ජාතිවල කේන්ති ගැනීමෙන් වැළකුණු බව ඊට හේතුවයි. මෙම ලක්‌ෂණය ඇති අය ඉතා සුවපහසු ඇතිරිලි හා පොරෝනා ලබයි.
ඉතා නම්‍යශීලී පුළුල් දිවක් තිබීම හා ඉතා මිහිරි කටහඬකින් යුතුවීම මහා පුරුෂ ලක්‌ෂණයකි. බුදුන් වහන්සේගේ කටහඬ අෂ්ට බ්‍රහ්මස්‌වර නම් අංග අටකින් යුක්‌ත විය. පෙර ජාතිවලදී පරුෂ වචනයෙන් වැළකීම ඊට හේතුවයි. ඒ ආනිශංස වශයෙන් කිසිවකුට ඉවත දැමීය නොහැකි වචන කතාකරන කෙනකු විය.
සමව දිලිසෙන සුදුපාට වූ දත් හතළිහක් ඇති බව එවැනි ලක්‌ෂණයකි. පෙර ජාතිවල කේලාම් කීමෙන් වැළකීම ඊට හේතුවයි. ආනිශංසය නම් බිඳවිය නොහැකි මහා පිරිසක් එකතු වීමයි.
බුදුරජාණන් වහන්සේට ඉතා පැහැදිලි, ප්‍රසන්න නේත්‍ර යුවළක් හිමිවිය. එවැනි ඇස් ඇති වීමට හේතුව ද්වේෂයෙන් අනුන් දෙස රවා නොබැලීමයි. ආනිශංසය බොහෝ දෙනාට ප්‍රියවීමයි.
උන්වහන්සේගේ විලුම් දිගටද ඇඟිලි මනාව දිගටද ශරීරය සෘජුවද පිහිටියේ පෙර ජාතිවල ප්‍රාණඝාතයෙන් හා සත්ව හිංසාවෙන් වැළකුණු බැවිනි. මෙම ලක්‌ෂණය දීර්ඝායුෂද සතුරන්ට නැසිය නොහැකි බවද පෙන්වයි. දෙව්දත් ආදීන් බුදුන් නැසීමට ගල් පෙරළුවද, නාලාගිරි වැනි හස්‌තින් ප්‍රකෝප කරවා එව්වද, එය අසාර්ථකවීම මෙම කුශලකර්ම බලය හා එයින් නිමැවුණු අංග ලක්‌ෂණවලින් ප්‍රදර්ශනය වීම ආශ්චර්යයක් නොවේද?
බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී දේහයේ දෙතිස් මහා පුරුෂ ලක්‌ෂණ උන්වහන්සේගේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම් සමගද මනාව සැසඳේ. කටක ලග්නයෙන් උපන් බෝසත් ජන්ම පත්‍රයේ ගුරු, රවි, ශනි, සිකුරු උච්චව ද සඳු දිග්බලවද පිහිටියේය. මේ අනුව මේ ග්‍රහයින් සංකේතවත් කරන ශාරීරික අංග මනාව පැහැපත්ව පිහිටීම ස්‌වභාවයකි.
එහෙත් බුද්ධ ශරීරය දෙස වශීකෘතව බලන අයට උන්වහන්සේ වදාළේ "ධර්මය දකින්නා බුදුන් දකී" යනු වෙනි. ධර්මය දැක්‌ම යනු සැබැවින්ම ඇසින් දැකීම හෝ කියවීම හෝ කියවා විභාග සමත්වීම නොවේ. අනුගමනය කිරීමයි. ධර්ම මාර්ගයේ ගමන් කරන්න. එවිට "භගවා" නමින් හැඳින්වූ භාග්‍යවතුන්වහන්සේ දැකිය හැකි වනු ඇත.
සුනිල් කුමාර ගම්ලත් කෙළින් වීදිය, කෑගල්ල.
0 Comments