බෙලි ශාකය යනු පුද්ගලයාගේ ජීවිතය නිරෝගී භාවයට පත් කරන ඔසුවකි. බෙලි ගසේ සෑම අංගයක්ම ඔෟෂධයක් සේ සැලකේ. එමෙන්ම අපේ දේශීය ඔෟෂධ අතරින් උසස්ම සහ වටිනා ශාකයක් ලෙස සැලකිය හැකිය. බෙලි ශාකයේ එක් එක් කොටස් ප්‍රයෝජනයට ගත හැකි ආකාරය බලමු.
බෙලි මුල
බෙලි මුල් ගෙන හොඳින් සෝදා වේළා දෙහි ඇඹුලෙන් උරගාන්න. එමඟින් ලැබෙන යුෂවලට මී පැණි එකතු කර පානය කිරීමෙන් බඩවැලේ තුවාල හටගැනීම හා බඩවැල සම්බන්ධයෙන් මතුවන රෝග වළක්වාගත හැකිය. එමෙන්ම එමඟින් බඩවැලේ උෂ්ණත්වය පාලනය කරයි.
බෙලි පොතු
බෙලි පොතු ගෙන හොඳින් සෝදා වේළාගන්න. පසුව සූදුරු සහ කොත්තමල්ලි එකතු කොට යම් ප්‍රමාණයකට රත් කර ගන්න. එය හොඳින් කොටා ගෙන කෝපි මෙන් උදේ හවස පානය කරන්න. ශරීරයේ උෂ්ණත්වය පාලනය කරයි. වාත සෙම් පිත රෝග මර්දනය කරයි.
බෙලි මල
බෙලි මල් නොයෙක් කසාය සඳහා යොදා ගනී. බෙලි මල් වේළා කොටා කුඩු කර තේ සමානව හකුරු සමඟ පානය කිරීම පිපාසයට හොඳ ඔෟෂධයකි. එමෙන්ම බෙලි මල් පානය ප්‍රණීත පානයකි. ශරීරයේ උෂ්ණත්වය නිවමින් ලේ පිරිසුදු කරනවා පමණක් නොව සෙම් රෝග පිත නිවාරණය කරයි.
බෙලි දලු
බෙලි කොළ සහ දලු සෝදා සිහින්ව කපාගෙන රතුලූනු දෙහි ඇඹුල් එකතු කොට සම්බෝලයක් ලෙස සකස් කරගෙන ආහාර වේලට එක්කර ගන්න. මෙහිදී බඩවැලේ ගල්, වැලි ආදිය සිරවීම, ආමාශයේ ආහාර හිරවීම පමණක් නොව අම්ල පිත්ත රෝගයටත් නියම ඔෟෂධයකි.
බෙලි ගෙඩිය
බෙලි ගෙඩියේ කටුව සූදුරු සුදුලූනු සමඟ තම්බා පානය කිරීමෙන් අජීර්ණ ස්වභාවය වළක්වා ගත හැකිය. එමෙන්ම මල බද්ධයට නියම ඔෟෂධයකි. බෙලි මදය ඇට ඉවත් කර සීනි ඉඟුරුපියලි, සූදුරු, කොත්තමල්ලි පදම සාදාගෙන මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් මූත්‍ර රෝග ඇතිවීම වළක්වයි. බෙලි ගෙඩියේ ඇට කොප්පරා, අමු කහ සමඟ අඹරා මීතෙල් දමා කැඩුණු අස්ථිවලට තබා වෙළීමෙන් අස්ථි ළං වේ. එමෙන්ම අස්ථි ශක්තිමත් වෙයි. එමෙන්ම බෙලි මදය (පැය දෙකකට පමණ) කුසගින්න නිවා ගැනීමට ආධාර වෙයි.
මව්බිම පුවත්පත
0 Comments